ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සිලෝන් ටී නංවාලීමට 'නව වැඩපිළිවෙළක් අවශ්‍යයි'

පසුගිය වසර හතරක කාලය ඇතුළත ශ්‍රී ලංකා තේ මණ්ඩලය අලුත් වෙළෙඳපොලවල් සෙවීම හෝ ඒවාට පිවිසීම සඳහා සැලසුම් ක්‍රියාවට නැංවීම අතින් සුදුසු වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා නැතැයි, තේ වෙළෙඳුන්ගේ සම්මේලනයේ හිටපු සභාපති ජයන්ත කෑරගල පවසයි.

ඔහු එම ප්‍රකාශය කළේ ශ්‍රී ලංකා තේ වෙළෙඳපොළේ වාර්තා වන පසුබෑම සම්බන්ධයෙන් බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී.

එම සාකච්ඡාව සිදු කෙරුණේ කොළඹ තේ වෙන්දේසියේ දී ශ්‍රී ලංකාවේ තේ මිල 2014 වසර සාපේක්ෂව පහත වැටීමත් සමඟයි.

යුක්‍රේන් අර්බුදය සහ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වීමත් සමඟ ශ්‍රී ලංකා තේ සඳහා රුසියානු වෙළෙඳපොළේ ඉල්ලුම පහත වැටුණ අතර තවත් බරපතළ තර්ජනයක් වී තිබෙන්නේ මැදපෙරදිග තේ වෙළෙඳ පොලේ ලද අසාර්ථක භාවයයි.

Image copyright AFP

උද්ගත වී අති තත්වය සම්බන්ධයෙන් කිසිවකුට ඇඟිල්ල දිගු නොකරන බව කියා සිටි ‘සිලෝන් තේ වෙළෙඳුන්ගේ සම්මේලනයේ හිටපු සභාපති ජයන්ත කෑරගල වැඩිදුරටත් පවසන්නේ ‘දැනට අනුගමනය කෙරෙන ක්‍රම ප්‍රශ්නය වී ඇති බව’ සිය තේරුම් ගැනීම වන බවයි.

ආණ්ඩුවේ ආයතනවල පවතින ප්‍රශ්න නිසා පෞද්ගලික අංශයේ මෙන් සාර්ථකව අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නා තත්වයක ඇති බවයි පෙන්වා දෙන්නේ.

'අපනයන කරුවන්ගෙන් වෙන්කර ගෙන අති රුපියල් බිලියන 4.5ක මුදල වෙනත් රටවල වෙළෙඳාම වැඩිකර ගැනීමට යොදා ගනු ලැබුනොත් එය හොඳ පියවරකැයි' පවසන තේ වෙළෙඳුන්ගේ සම්මේලනයේ හිටපු සභාපති ජයන්ත කෑරගල එය වෙන කාර්යයකට යොදා නොගත යුතු බවයි කියා සිටින්නේ.

තෙල් මිලේ බලපෑම

කෙසේ වුවද, දැනට අනුගමනය කෙරෙමින් පවතින ක්‍රියාමාර්ග වලින් තේ මිල පහත වැටීමේ ප්‍රශ්නයට විසඳුමක් ලැබේ යයි සිතිය නොහැකි බවත් ඔහු පවසයි.

‘තේ මිල පහත වැටී තියෙන්නේ ඛනිජ තෙල් මිල පහත වැටීම සහ වෙනත් හේතු නිසා. එම තත්වය යටතේ අපට කෙටි කාලීන වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග නැහැ. ඩොලරයේ අගය වැඩි වෙලා අනිත් රටවල ව්‍යවහාර මුදලේ අගය අඩු වෙලා තියෙනවා. එම තත්වය යටතේ කවුරු හරි ක්ෂණික විසඳුමක් ගේනවා කිව්වොත් එක බොරුවක්. හැබැයි, මේ වැඩ පිළිවෙල දිගට ගෙන ගියොත් ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකා තේ සඳහා පවතින වෙළෙඳ ඉල්ලුම අලුත් තත්වයකට ගෙනෙන්න පුළුවන්’ සිලෝන් ටී වෙළෙඳුන්ගේ සම්මේලනයේ හිටපු සභාපති ජයන්ත කෑරගල පවසයි.

ඉරානය සහ ඇමෙරිකාව අතර සබඳතා හොඳ අතට පෙරළීම ශ්‍රී ලංකා තේ වලටද හොඳ තත්වයක් උදා කරනු ඇතැයි විශ්වාසය තැබිය හැකි බවයි සිලෝන් තේ වෙළෙඳුන්ගේ සම්මේලනයේ හිටපු සභාපති ජයන්ත කෑරගල වැඩිදුරටත් සඳහන් කළේ.

බීබීසී සංදේශය ඔහු සමඟ පවත්වන ලද සම්පූර්ණ සාකච්ඡාවට මෙම පිටුව මගින් ඔබට සවන් දෙන්නට පුළුවනි.