ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කථානායක අල්ලස් කොමිසමේ සභාපතිවරයා කැඳවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා කථානායක චමල් රාජපක්ෂ එම කොමිසමේ සභාපතිවරයා පාර්ලිමේන්තුවට කැඳවා තිබේ.

එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව හමුවේ අඟහරුවාදා ප්‍රකාශයක් සිදු කරනු ලැබීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා කියා සිටියේ අගමැතිවරයාට හෝ පාර්ලිමේන්තුවේ කිසිම පුද්ගලයකුට අල්ලස් කොමිසමේ රාජකාරිවලට බලපෑම් කිරීමේ අයිතියක් නොමැති බවයි.

‘අල්ලස් කොමිසම තමන්ගේ සීමාව ඉක්මවා යනවනම්, අල්ලස් කොමිසම නීතියේ වපසරිය ඉක්මවා යනවනම් අධිකරණය හමුවට ගිහිල්ලා ඒ පිළිබඳ නියෝග ලබා ගන්න පුළුවන්. පළවෙනි අවස්ථාව නෙවෙයි කථානායකතුමනි මීට කළින් අරගන තියනවා’ ඔහු පැවසීය.

විපක්ෂ මන්ත්‍රීවරුන් අල්ලස් කොමිසම වෙත කැඳවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමට බැදී සිටිනවා සේම රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම්ද ආරක්ෂා විය යුතු බවයි.

‘මේ රටේ පුරවැසියෝ කවුරුහරි පැමිණිලි කරනවනම් අල්ලස් කොමිසමට යම් චෝදනාවක් පිළිබඳව. ඒ පිළිබඳ පරික්ෂා කරන්න ඕනි. කවුරු උනත්. එයා රාජපක්ෂ උනත්, රත්නායක උනත්, වික්‍රමසිංහ උනත් ඒ පිළිබඳ පරික්ෂ කරන්න ඕනි’ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා වැඩිදුරටත් කියා සිටියේය.