පාර්ලිමේන්තු විරෝධය අවසන්

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (සඳුදා) සිට පාර්ලිමේන්තු සභා ගර්භය මැද දියත් කරන ලද විරෝධය නතර කිරීමට තීරණය කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීමට විරෝධය පළ කරමින් ඊයේ උදෑසන ආරම්භ කළ මෙම විරෝධතාව අද උදෑසන තෙක් පැවැත්විණ.

මන්ත්‍රීවරුන් 30 දෙනෙකු පමණ ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තු සභා ගර්භයේ රැය පහන කළ බවයි වාර්තා වන්නේ.

ඔවුන්ට අවශ්‍ය අහාර පාන හා වෛද්‍ය පහසුකම් සඳහා පාර්ලිමේන්තුවේ භෝජනාගාරය හා වෛද්‍ය සේවාව ඊයේ රාත්‍රියේ විවෘත කර තැබීමටද පාර්ලිමේන්තු බලධාරීන් කටයුතු යොදා තිබුණි.

මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් වලට සෑහීමකට පත් විය හැකි ප්‍රතිචාරයක් ලැබුන බැවින් විරෝධතාව නතර කිරීමට තීරණය කළ බවයි විරෝධතාවයේ නියැළුණු මන්ත්‍රීවරයෙක් බිබිසියට පැවසුවේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවනවා වෙනුවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ඔහුගේ නිවසට ගොස් එම ප්‍රකාශයක් සටහන් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යවරයා තමන්ට දැනුම් දුන් බව කථානායකවරයා අද පාර්ලිමේන්තුවේ දී පැවසිය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ප්‍රකාශයක් ලබා ගැනීමට හෝ පරීක්ෂණයක් ඇඹීමට පෙර අල්ලස් කොමිසම කල් තියා තමාට දැන්විය යුතු බවද ඔහු පැවසුවේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර