බැසිල් රාජපක්ෂ අත්අඩංගුවේ

Image caption දිවිනැගුම දෙපාර්තමේන්තුව යටතේ දියත්කළ ඉසුරුමත් නිවාස වැඩසටහනේ දුප්පතුනට බෙදා දුන් මුදල් සම්බන්ධයෙන් අක්‍රමිකතාවයක් තිබෙන බවට හිටපු මතිවරයාට චෝදනා

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදු වූ බවට චෝදනා එල්ල වන මූල්‍ය අපචාර සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාදීම පිණිස පොලිස් මූල්‍ය පරාධ විමර්ශන කොට්ඨාශයට ගිය අවස්ථාවේ ආර්ථික කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලද බව ඔහුගේ නීතිවේදියා පවසයි.

බදාදා උදේ 11 සිට සවස පහ දක්වා කටඋත්තරයක් සටහන් කරගැනීමෙන් අනතුරුව සිය සේවාදායකයා මෙසේ අත්අඩංගුවට ගන්නා ලද බවයි, හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී යූ ආර් ද සිල්වා බීබීසී සංදේශයට කියා සිටියේ.

"ඒකට හේතුකාරක හැටියට ඔවුන් ප්‍රකාශ කරන්නේ දිවිනැගුම දෙපාර්තමේන්තුව යටතේ කරගෙන යනු ලැබූ ඉසුරුමත් නිවාස වැඩසටහනේ දුප්පත් පුද්ගලයන්ට බෙදා දුන් මුදල් සම්බන්ධයෙන් යම් අක්‍රමිකතාවයක් තිබෙනවා කියන පදනම මත," ඔහු සඳහන් කළේය.

නිලධාරීන් දෙදෙනාත්

අදාළ චෝදනා පිළිබඳව මීට ඉහතදී සාක්ෂි දුන් අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ කේ කේ රණවක යන නිලධාරීන් දෙදෙනාත් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් නීතිවේදියා සඳහන් කළේය.

සිය සොහොයුරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව රටින් බැහැරව ගිය බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේ අඟහරුවාදා.

තමන් හෝ සිය පවුලේ කිසිවකු දූෂණ, වංචාවලට සම්බන්ධ නැති බව හිටපු අමාත්‍යවරයා කටුනායක ගුවන් තොටුපොලේදී අවධාරණය කළේය.

බදාදා අත්අඩංගුවට ගැනුණු ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරුණු විට ඇප ඉල්ලීමට බලාපොරොත්තු වන බවත් නීතිවේදී යූ ආර් ද සිල්වා පැවසීය.

'ඇප නෑ'

"නමුත් මෙය ඉදිරිපත් කරනු ලබන්නේ පොදු දේපල පනත යටතේ වන හෙයින් මා හිතන් නෑ ඔහුට ඇප ලබාගැනීමට අවස්ථාව දෙයි කියල."

අදාළ චෝදනාව යටතේ සිය සේවාදායකයාට ඇප ලබාගත හැක්කේ සුවිශේෂ හේතු ඉදිරිපත් කිරීම මගින් පමණක් බව සඳහන් කළ නීතිවේදියා, ඔහු රිමාන්ඩ් භාරයට පත් කළ යුතු බවට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් කියා සිටියේය.

දූෂණ, වංචා සම්බන්ධයෙන් වැරදිකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවට ප්‍රතිඥා දෙමින් බලයට පැමිණි නව පාලනය යටතේ දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඉහලම බලවතා බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයායි.

චෝදනා ලැබූ පැරණි ආණ්ඩුවේ "තෝරු සහ මෝරුන්ට" එරෙහිව දැඩි පියවර ගන්නා බවට බීබීසී සංදේශය සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රතිඥා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නීත්‍යානුකූලව කටයුතු කරද්දී තමන්ට 'හදිසියක් නැති' බවත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර