අපි 19 ට විරුද්ධයි කීම සාවද්‍යයි - විපක්ෂ නායක

Image caption මැතිවරණ ක්‍රමය එක්සත් ජාතික පක්ෂයට අවාසි සහගත නිසා ඔවුන් එය යට ගසන බවයි විපක්ෂනායකවරයා පවසන්නේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා විපක්ෂය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ බවට සාවධ්‍ය මතයක් එක්සත් ජාතික පක්ෂය සමාජ ගත කරන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා අද චෝදනා කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද පැවැති මාධ්‍ය හමුව අමතමින් විපක්ෂනායකවරයා පැවසුවේ 19 සම්මත වීමට අවශ්‍යනම් එයට අවශ්‍ය බහුතරය ලබාදෙන්නේ විපක්ෂය බවයි.

" සුළුතර පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයට කිසිම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට හැකියාවක් නැහැ, අපේ පහනෙන් තමයි ඒගොල්ලෝ එළිය බලන්නේ" යනුවෙන් ඔහු පැවසීය.

19 වන සංශෝධනය පරාජය කර මැතිවරණයකට යාම එක්සත් ජාතික පක්ෂයේ උත්සාහය බවට චෝදනා කළ විපක්ෂනායකවරයා, පනතකට සහය බලාපොරොත්තු වන්නේ නම් ඔවුන්ට මිට වඩා වෙනස් ආකාරයෙන් කටයුතු කල යුතු බවයි පැවසුවේ.

" පනත සම්මත කරගනන ඕනේ නම් ඒ පනතට අවශ්‍ය ජන්දය ගන්න ක්‍රමවේදයට එක්සත් ජාතික පක්ෂය අනුගත වෙන්න ඕනේ" යනුවෙන් ඔහු පැවසීය.

දින 100 වැඩ පිලි වෙලින් පොරොන්දු වූ නව මැතිවරණ ක්‍රමය එක්සත් ජාතික පක්ෂයට අවාසි සහගත නිසා ඔවුන් එය යට ගසන බව පැවසූ විපක්ෂනායකවරයා 19 වන සංශෝධනයට සමග 20 වැනි සංශෝධනය ලෙස නව මැතිවරණ ක්‍රමයද ඉදිරිපත්කළ යුතු බවයි අවධාරණය කළේ.

ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යනය කිරීම සදහා ප්‍රමාණවත් කාලයක් ද අවශ්‍ය බව පැවසූ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මේ පිළිබඳව ජනතා අදහස් විමසීමට ද තම පක්ෂය කටයුතු කරන බවයි පැවසුවේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර