ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'මම අවංක රාජ්‍ය සේවකයෙක්' -ගෝඨාභය අල්ලස් කොමිසමේ

අවංකව සේවය කළ තමා වැනි රාජ්‍ය සේවකයකුගෙන්ද මෙවැනි ප්‍රශ්න කිරීම් සිදු කරන්නේ නම් ශ්‍රී ලංකාවේ කිසිදු රාජ්‍ය සේවකයකු අනාගතයේ රට වෙනුවෙන් වැඩ කරනු ඇතැයි තමා නොසිතන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ගෝඨාභය රාජපක්ෂ එම ප්‍රකාශය කළේ අද (23) ඔහු අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරියට පැමිණි අවස්ථාවේ ඔහුට සහයෝගය පළ කිරීමට එහි එක්රැස් ව සිටි කණ්ඩායමක් අමතමින්.

එම අවස්ථාවේ ප්‍රකාශයක් කළ නීතිවේදී සාගර කාරියවසම් කියා සිටියේ, මෙයින් වසර හතකට පමණ පෙර ගෝඨාභය රාජපක්ෂ ‘මිහින් ලංකා’ගුවන් සමාගමේ සභාපති පදවියේ කටයුතු කරද්දී සිදු කෙරුණ ගනුදෙනුවක් ගැන විමසීමට අල්ලස් කොමිසම විසින් සිය සේවාදායකයා කැඳවනු ලැබ ඇති බවයි.

අධිකරණ නියෝගය නොතකා

වසර හතකට පෙර සිදු වූ ගනුදෙනුවකට අදාළ ලිපි ලේඛන ගෝඨාභය රාජපක්ෂ සතුව මේ මොහොතේ නොමැති හෙයින් අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමට තම පාර්ශ්වය තවත් කාලය ඉල්ලා සිටි බවයි නීතිවේදියා පවසන්නේ.

එම තොරතුරු රැගත් වීඩියෝ පටය මෙහිදී ඔබට නැරඹිය හැකිය.

අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභා කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද නිකුත් කරනු ලැබ තිබුණ අතර එය නොතකායි ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දෙන කණ්ඩායමක් එහි රැස්ව සටන් පාඨ කියමින් සිටියේ.