දින සීය; ආණ්ඩුවේ සහ විපක්ෂයේ ඇසින්

Image copyright News.lk

දින සියයේ වැඩ සටහන සාර්ථකව ක්‍රියාවට නැංවීමට හැකි වීම සම්බන්ධයෙන් බෙහෙවින් සතුටු වෙන බව ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න පවසයි. ඔහු එම අදහස් පළ කළේ බීබීසී සංදේශය කොළඹ වාර්තාකරු අශාම් අමීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී.

‘ඇමෙරිකානු ජනාධිපතිවරයකුවත් මේ තරම් පොරොන්දු ප්‍රමාණයක් මේ තරම් කෙටිකාලයකින් ඉටු කර නැති බවක්’ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවා ප්‍රකාශ කළ බවයි සෞඛ්‍යය ඇමතිවරයා පවසන්නේ.

දින 100 වැඩ පිළිවෙලේ පොරොන්දු වලින් 75% - 80% ත් අතර ප්‍රමාණයක් මේ වන විට ඉටු කර ඇති බව පැවසූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා, විවිධ හේතු නිසා අතපසු වූ කාරණා ඉටු කිරීම සඳහා මේ වනවිට රජය කටයුතු යොදමින් සිටින බවත් කියා සිටියේය.

‘පනත් ටික ඔක්කොම හරි. විගණන පනතයි, තොරතුරු පනතයි ගේනවත් එක්කම පනත් ටික හරි. මැතිවරණ ක්‍රමය සහ ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියේදී ඉටු වෙනවා. සහනාධාර සඳහා සියළු මුදල් වෙන් කරලා තියෙනවා’ ඇමතිවරයා සඳහන් කරයි.

විපක්ෂයේ ප්‍රතිචාරය

ආණ්ඩුවේ පැත්තෙන් දින සීයේ වැඩසටහනේ සාර්ථකත්වය ගැන ඉහත කී පරිදි අදහස් දක්වද්දී විපක්ෂය එම වැඩ පිළිවෙල දකින්නේ හාස්‍ය ජනක විහිළුවක් හැටියටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා පවසන්නේ දින සීය ඇතුළත බහුල වශයෙන් සිදු වුනේ පසුගිය රජයේ යෝජනා ක්‍රම එසේම ක්‍රියාත්මක කිරීම වූ බවයි. ‘අඩුපාඩු රැසක් තියෙනවා, අපේ කාලයේ හදපු දේවල් දින සීයේ වැඩසටහනට අදාළයි කියලා විවෘත කරනවා, ‘මහින්දෝදය’ විද්‍යාගාර, පින්නවල සත්තු වත්ත ආදිය ඒවාට උදාහරණ’ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.

‘දින සීය ඇතුළත ඉටු කරන බවට ආණ්ඩුව පොරොන්දු වූ යහපාලනය වෙනුවට සිදු වුනේ දේශපාලන පළි ගැනීමේ ක්‍රියා පමණක්’ බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා කියා සිටින්නේ.

Image copyright AFP

‘යහපාලනය කියන්නේ හොඳ වචනයක්. නමුත් එය ක්‍රියාවෙනුත් ඔප්පු නොවුනොත් ඒකෙන් වැඩක් නැහැ’අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා පවසයි.

භාණ්ඩ කිහිපයක මිල අඩු කළ බව ආණ්ඩුව පැවසුවත් සමස්තයක් ලෙස ජනතාවට සහනයක් නොලැබුන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වරයා සඳහන් කළේ.

දින සීයේ වැඩපිළිවෙලින් ජනතාවට ලබා දුන් ආර්ථික සහන පිළිබඳව බීබීසී සංදේශයට ප්‍රකාශයක් කළ නියෝජය අමාත්‍ය හර්ෂ ද සිල්වා කියා සිටියේ රජයේ සේවකයන්ගේ පඩි වැඩි කළ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ දහතුනක මිල අඩු කිරීමට ද පියවර ගත් බවයි.

එසේම ඉන්ධන සහ ගෑස් මිල අඩු කරමින් ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ බවයි නියෝජ්‍ය ඇමතිවරයා පවසන්නේ.

අභියෝගයක්

ඒ අතරවාරයේ යම් යම් අතපසුවීම් සිදු වූ බවට එල්ල කෙරෙන විවේචන රජය පිළි ගන්නා බව පැවසූ හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා, ජනතාවගේ ජීවන බර අඩු නොවූ බවක් කෙනෙකුට පැවසිය නොහැකි බවට අභියෝගයක් ද කළේය.

දින සීයේ වැඩසටහනින් ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග ගැන සෑහීමකට පත් විය හැකි නමුත් පොරොන්දු වූ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු නොවීම නිසා එම වැඩසටහන අසාර්ථක එකක් වී ඇති බවයි බිබිසියට අදහස් දක්වමින් දේශපාලන විචාරක රජිත් තෙන්නකෝන් සඳහන් කළේ.

‘තොරතුරු පනත,විගණන පනත තාම සම්මත වෙලා නැහැ, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළු ව්‍යවස්ථා සංශෝධනත් අර්බුදයකයි පවතින්නේ’ රජිත් තෙන්නකෝන් පවසයි.

පොරොන්දු වූ පරිදි ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට අපොහොසත් වුනොත් දින සීය අසාර්ථක යැයි හැදින්විය හැකි නොවේදැයි සංදේශය ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයාගෙන් යළි විමසීමක් කළ විට ඔහු පැවසුවේ ‘එම කාර්යයන් ඉදිරි දින කිහිපය තුළ ඉටු කරන’ බවයි.

දින සීයක් සම්පූර්ණ වීමත් සමඟ එකී කාලය තුළ ලද ජයග්‍රහණය පිළිබිඹු කරමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ රුව රැගත් පෝස්ටරයක් අද (23) කොළඹ නගරයේ අලවා තිබුණ අතර දින සීය අසාර්ථක බව පෙන්නුම් කෙරෙන ‘වෙනස මාරයි රට හමාරයි’ යන සිරස්තලය යටතේ නිර්නාමික පෝස්ටරයක් ද දක්නට ලැබුණි.