'විප්ලවය' ඉදිරියට ගෙනයනවා - ජනපති

Image copyright AFP
Image caption "මේ රටේ ජනතාව තම ඡන්දය භාවිතා කරලා පැහැදිලිවම සිදු කලේ තම ප්‍රජාතන්ත්‍රීය අයිතිය තුල පරිවර්තනයක්, විප්ලවයක්"

පසුගිය ජනපතිවරණයේ දී ශ්‍රී ලංකාවේ ජනතාව දියත් කළේ 'විප්ලවයක්' බව පවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකාවාසීන්ට එම විප්ලවයේ ප්‍රතිඵල නෙලා ගැනීමට මඟ අහුරන බවට සිය ප්‍රතිවාදීන්ට චෝදනා කරයි.

එහෙත් එම බාධක නොතකා ජනතාව සමඟ අත්වැල් බැඳගෙන ඉදිරියට යාමට තමන් අදිටන් කරගෙන සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

නව රජය බලයට පත් වී දින සියයක් ඇතුලත රටේ දැවැන්ත වෙනසක් සිදු කොට තිබෙන බව පවසන ඔහු, එමෙන්ම බිඳ වැටී තිබුණු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය නැංවීමට සිය රජය සමත් වූ බවත් සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ බව කියා සිටියේ නව රජය බලයට පත් වී දින සියයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ජාතිය අමතා කතා කරමින්.

වහල් යුගය

"ජනවාරි අට වෙනිදා මේ රටේ ජනතාව තම ඡන්දය භාවිතා කරලා පැහැදිලිවම සිදු කලේ තම ප්‍රජාතන්ත්‍රීය අයිතිය තුල පරිවර්තනයක්, විප්ලවයක් කියලයි මම අදහස් කරන්නේ," ඔහු පැවසීය.

Image copyright AFP
Image caption ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් වහල්භාවය අවසන් කළ පසුවත්, තවදුරටත් වහලුන්ව සිටියේ නම් යහපත් බව ඇතැම් වහලුන් ප්‍රකාශ කළැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිහිපත් කරයි.

එහෙත් එම 'විප්ලවය' තුලින් ලැබූ නිදහස සහ සැබෑ ප්‍රජාත්නත්‍රවාදය භාවිතා කිරීමෙහිලා 'ඇතැම් අයගේ' ක්‍රියාකලාපය සලකා බැලීමේදී විප්ලවයකට පසුව සිදුවන ප්‍රතිවිප්ලවය සිය මතකයට නැගෙන බව ජනපතිවරයා සඳහන් කළේ ජාත්‍යන්තර ඉතිහාසයෙන් උදාහරණ ගෙන හැර පාමින්.

විශේෂයෙන්ම එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් වහල්භාවය අවසන් කළ පසුවත්, තවදුරටත් වහලුන්ව සිටියේ නම් යහපත් බව ඇතැම් වහලුන් ප්‍රකාශ කළැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිහිපත් කරයි.

"ඒ මොකද නිදහස භුක්ති විඳිමින් ස්වශක්තියෙන් මිනිසෙක් විදියට ගොඩනැගීමට තිබෙන අයිතියට වඩා, කෙනෙක් යටතේ සේවය කරලා, වහලෙක් විදියට තමන්ගේ ජීවිතය ඉස්සරහට ගෙනියන එක ඒ ලැබූ නිදහසට වඩා හොඳයි කියල තමා සමහර වහලුන් කල්පනා කළේ."

එය මානවයාගේ සාමාන්‍ය හැසිරීම බව පවසන ජනාධිපතිවරයා, බලයට පත්වීමෙන් අනතුරුව සිය පාලනය ක්‍රියාත්මක කළ බොහෝ දේ 'ඇහැට පෙනෙන, අතට අසුවන' දෑ නොවන නමුත් රටේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කෙරෙන ඉතා වැදගත් ක්‍රියාකාරකම් බව අවධාරණය කළේය.

ජාතිවාදීන්

නව රජය විසින් ලබා දෙන ලද මාධ්‍ය නිදහසට මුවා වී රටේ ජාතීන් අතර සමගිය බිඳ දැමීමේ අරමුණින් ඇතැම් මාධ්‍ය ගෙන යන ප්‍රචාර ජනාධිපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.

“සම්පූර්ණයෙන්ම මේ කතා පතුරුවන්නේ අන්තයට ගිය ජාතිවාදීන්. කරුණාකරලා මේ අසත්‍ය ප්‍රචාර ලෝකයට දෙන්න එපා.”

යුද්ධය සමයේ ආරක්ෂක හමුදා උතුරේත්, දකුණේත් සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් අත්පත් කරගත් බව රහසක් නොවේ යයි පවසන ජනාධිපතිවරයා, එම ඉඩම්වල මුල් පදිංචිකරුවන්ට ඒවා යළිත් පවරාදීම ‘වරදක්’ දැයි ප්‍රශ්න කළේය.

එය සිදු කරන්නේ ජාතික ආරක්ෂාවට අනතුරක් සිදු නොවන ආකාරයට බව ඔහු අවධාරණය කළේය.

තමන් දුර්වල පාලකයකු බවට විවේචකයන් එල්ල කරන චෝදනාවලට පිළිතුරු දුන් ඔහු: “ඒ සියලු විවේචකයින්ට මම කියන්න කැමතියි මේ විධායක ජනාධිපතිවරයෙක් සතු අසීමිත බලතල මම පාවිච්චි කළේ නෑ. මගේ මැතිවරණ ප්‍රකාශනයේ ඉතාම පැහැදිලිව කියලා තියෙනවා විධායක ජනපතිවරයා සතු අසීමිත බලතල ඉවත් කරනවා කියලා,” යනුවෙන් පැවසීය.

එම ව්‍යවස්ථා සංශෝධන සම්මත කොට රටේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ කිර්යාදාමයට දායක වන මෙන් ඔහු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

“මම තීන්දු ගන්න ඕන තැන තීන්දු ගන්නවා. දූෂණ වංචා අවම කිරීමට ජනතාවගේ නිදහස සුරක්ෂිත කිරීමට මම ගත යුතු සෑම පියවරක්ම ගන්නවා.”

‘යහපත්, ශීලාචාර, වැදගත්’ සමාජයක් ඇතිකරමින් නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පිරුණු රටක් ගොඩනගමින් එකමුතුව සහෝදරත්වයෙන් ඉදිරියට යාමට තමන් සමඟ අත්වැල් බැඳගන්නා මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සියලු රටවැසියන් ගෙන් ඉල්ලා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර