ගෝඨාභය උද්ඝෝෂණය: මන්ත්‍රීවරුන්ට නොතීසි

Image caption අධිකරණ නියෝග නොතකා උද්ඝෝෂණය කිරීම පිළිබඳව මන්ත්‍රීවරුන් දස දෙනකු, පළාත් සභා මන්ත්‍රීවරුන්, මහ ඇමතිවරයා සහ භික්ෂූන් වහන්සේ පිරිසකට නොතීසි

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අල්ලස් කොමිසම ඉදිරිපස උද්ඝෝෂණය කිරීමේ චෝදනාව පිළිබඳව අධිකරණය ඉදිරියේ පෙනී සිට කරුණු දක්වන මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනකු ඇතුළු 18 දෙනකුට අධිකරණය නොතීසි නිකුත් කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ කුරුඳුවත්ත පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුවයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවා තිබූ බ්‍රහස්පතින්දා අල්ලස් කොමිසම ඉදිරියේ උද්ඝෝෂණ තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණි.

එහෙත් එම නියෝගය උල්ලංඝනය කරමින් මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ භික්ෂූන් වහන්සේ පිරිසක් උද්ඝෝෂණයක් දියත් කළ බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

'අධිකරණයට අපහාස'

ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, ජයන්ත කැටගොඩ, රොෂාන් රණවීර, එස්එම් චන්ද්‍රසේන, සරත් වීරසේකර, වීරකුමාර දිසානායක, උදිත ලොකුබණ්ඩාර සහ ජනක ප්‍රියන්ත බණ්ඩාර චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසයි.

බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංග සහ උදය ගම්මන්පිල හා රොජර් රණවක යන පළාත් සභා මන්ත්‍රීවරුන්ට ද මැයි මස 08 වැනි අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් නොතීසි නිකුත් කෙරිණ.

ඉත්තාකන්දේ සද්ධාතිස්ස, මැදගොඩ අබේතිස්ස, මුරුත්තෙට්ටුවේ ආනන්ද, වටිනාපහ සෝමානන්ද සහ බොදු බල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥානසාර යන බෞද්ධ භික්ෂූන් වහන්සේට ද අධිකරණය ඉදිරියේ කරුණු දක්වන මෙන් නියෝග කෙරිණ.

වග උත්තරකරුවන් පිරිස අධිකරණයට අපහාස කර ඇති බවත් ඊට එරෙහිව පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් පොලිසිය විසින් මෙම නඩුව පවරනු ලැබ තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර