‘මෛත්‍රී - මහින්ද හමුවක් නැහැ’- කුමාර් වෙල්ගම

මේ වන විට කාණ්ඩ දෙකකට බෙදී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත එකමුතු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හෙට (25) පැවැත්වීමට නියමිත සාකච්ඡාව අවලංගු කරනු ලැබ ඇත.

රාජපක්ෂවරුන්ගෙන් පලි ගන්නා වර්තමාන දේශපාලන වාතාවරණය එම පියවර ගැනීමට හේතු වූ බව එකී හමුව සංවිධානය කිරීමට පුරෝගාමී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ප්‍රකාශයට පත් කළ බවයි බීබීසී සංදේශය කොළඹ වාර්තාකරු අශාම් අමීන් පවසන්නේ.

හිටපු ජනාධිපතිවරයාට සහය පළකරමින් පසුගිය අඟහරුවාදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ගෙන ගිය පාර්ලිමේන්තු විරෝධය අවසන් වනවාත් සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක දී කියවුණේ හිටපු සහ වර්තමාන ජනාධිපතිවරුන් අතර හමුවක් සංවිධානය කෙරෙන බවයි.

හිටපු ජනාධිපතිවරයා හා වර්තමාන ජනාධිපතිවරයා එක වේදිකාවට ගෙන ඒම එම හමුවේ අරමුණ වන බවයි එය සංවිධානය කිරීමට මූලිකත්වය ගත් කුමාර වෙල්ගම හා ටී.බී. ඒකනායක මන්ත්‍රීවරුන් සඳහන් කළේ.

දේශපාලන පලි ගැනීම්

Image copyright Kumara Welgama
Image caption කුමාර් වෙල්ගම(පා.ම.)

ඒ අනුව හෙට (25) සවස හතට එකී හමුව පැවැත්වීමට නියමිතව තිබුනත් අද කොළඹ පැවැත්වුන මාධ්‍ය හමුවක දී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කියා සිටියේ දේශපාලන පළි ගැනීම් සහිත වර්තමාන වාතාවරණය නිසා එම හමුව කල් දැමීමට තීරණය කළ බවයි.

'රාජපක්ෂවරුන්ගෙන් පලි ගන්නවා. රජයේ වැඩ කරන නිලධාරීන් හිරේ දානවා. ඒ හින්දා අපි හිතනවා මේ වෙලාව එම හමුවට එතරම් හොඳ නැහැයි කියල’මන්ත්‍රීවරයා පවසයි.

සාම සාකච්ඡා සිදු වන අවස්ථාවක දේශපාලන පළි ගැනීම් නිවැරදි නොවන බව කියා සිටින කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ‘එකඟතාවකට එන කොට පළි ගැනීම් කොහෙත්ම සුදුසු නැති’ බවයි පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකමුතු කිරීම සියළු දෙනාගේ බලාපොරොත්තුව බව පවසන කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා, ඉදිරි කාලයෙහි දේශපාලන වාතාවරණය සලකා බලා නායකයන් දෙදෙනාගේ හමුවක් යළි සංවිධානය කරන බවත් කියා සිටියි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනට රිමාන්ඩ් භාරයේ පසු වෙන තම සොයුරු බැසිල් රාජපක්ෂ හමුවීමට අද (24)කොළඹ ජාතික රෝහලට ලඟා විය.

එම අවස්ථාවේ මාධ්‍යවේදීන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුන ගැසෙනවාදැයි හිටපු ජනාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ‘එම හමුව කල් ගිය’ බවයි.

Image caption මහ ඇමති හරීන් ප්‍රනාන්දු

‘ඒක කල් ගියා. පවතින වාතාවරණය නිසා වෙන්න ඇති. මේ ඔක්කොම දේශපාලන පලි ගැනීම්’ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

සිදු නොවන හමුවක්

මේ අතර ප්‍රකාශයක් කරන ඌව පළාත් සභාවේ මහ ඇමති හරීන් ප්‍රනාන්දු ‘මහින්ද රාජපක්ෂත් සමග එක්ව නැවත දේශපාලනය කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සූදානම් වුවහොත් දේශපාලනය ගැන කලකිරීමෙන් තමා දේශපාලනයෙන් ඉවත් වීමට සූදානම් බවයි කියා සිටියේ.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස එතුමාගේ පක්ෂයත් සමග සත්භාවයෙන් ගමනක් යන්න අපි ලෑස්තියි, නමුත් මේ වෙනස් කර ගත් රට නැවත ඒ කුරිරු යුගයට ගෙන යන්න මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඔවුන් සමග යළි එකතු වෙනවා නම් මේ දේශපාලන බොරුවේ ඉඳල වැඩක් නැහැ’ ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයා පවසයි.

එසේම ඔවුන් අතර එකමුතුවක් කිසි දිනක සිදු නොවන බව තමන්ට විශ්වාස බවයි මහ ඇමති හරීන් ප්‍රනාන්දු වැඩි දුරටත් කියා සිටියේ.