‘ජාතික කොඩියේ අඩුපාඩු බැලුවේ නැහැ’- ගම්මන්පිල

Image caption උදය ගම්මන්පිල සහ ඩලස් අලහප්පෙරුම විකෘති කළ ජාතික කොඩි අතැතිව උද්ඝෝෂණයේ

ජාතියේ නිල සංකේතය වන ජාතික කොඩිය විකෘති කරනු ලැබීම බරපතල වරදක් වන අතර එවැනි කොඩි අත දැරීම සම්බන්ධයෙන් කණගාටු වෙන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල පවසයි.

පළාත් සභා මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් දූෂණ විමර්ශන කොමිසමට ලඟා වූ අවස්ථාවේ ඔහුට සහයෝගය දැක්වීම සඳහා සංවිධානය කොට තිබුණ විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටි ඇතැම් පුද්ගලයන් විසින් විකෘති කරන ලද ජාතික කොඩි අත දැරීම සම්බන්ධයෙන් බීබීසී සංදේශය කළ විමසීමකදී.

එම විරෝධතා ව්‍යාපාරයට හවුල් වී සිටි ඇතැම් පුද්ගලයන් අත තිබුණ ජාතික කොඩි නිමවා තිබුණේ සුළු ජාතීන් සඳහා ඇතුළත් කර තිබෙන වර්ණ තීරු ඉවත් කරමිනි.

එම ව්‍යාජ කොඩි තමන්ගේ ආරාධනයකින් තොරව එහි පැමිණ සිටි රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයන් විසින් ප්‍රදර්ශනය කරමින් සිටි බවයි පිවිතුරු හෙළ උරුමය නායකයා පවසන්නේ.

Image caption ගෝඨාභය රාජපක්ෂ උද්ඝෝෂනයේ විකෘති ජාතික කොඩි

‘අපි හිටියේ උද්ඝෝෂණ මානසිකත්වයේ. කවුරු හරි ජාතික කොඩියක් අතට දුන්නාම අපි ඒකෙ අඩුපාඩු බලමින් ඉන්නේ නැහැ. ඒවා බැලූ බැල්මට ජාතික කොඩි’ උදය ගම්මන්පිල පවසයි.

උසාවි නියෝගය

අදාළ දිනයේ අල්ලස් දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර දියත් කරනු ලැබීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණා නොවේදැයි බීබීසිය ප්‍රශ්න කළ විට ඔහු කියා සිටියේ තමන් පසු වන්නේ ‘අධිකරණ නියෝගය උල්ලංඝනය කළේ නැත’ යන ස්ථාවරයේ බවයි.

තමන් අල්ලස් දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය නොකළ බවයි ඔහු පවසන්නේ.

අධිකරණ නියෝගය උල්ලංඝනය නොකළ බව සහ අධිකරණයට අපහාස නොකළ බව අධිකරණය ඉදිරියේ පෙනී සිටීමේ දී කියා සිටින බවත් උදය ගම්මන්පිල පළාත් සභා මන්ත්‍රීවරයා පවසයි.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල ඇතුළු දහඅට දෙනකු උසාවිය විසින් කැඳවනු ලැබ ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහදෙනකු ද ඔවුන් අතර වෙති.