සමූහ ඝාතන ගැන 'විශේෂ විමර්ශන අවශ්‍යයි'

අම්පාරේදී පොලිස් නිලධාරීන් 600 ක් ඝාතනය කිරීම සහ නැගෙනහිර පළාතේදී සාමාන්‍ය වැසියන් සමූහ වශයෙන් ඝාතනය කිරීම පිළිබඳව විශේෂ විමර්ශන පැවැත්විය යුතු බව අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම නිර්දේශ කරයි.

විශේෂයෙන්ම නැගෙනහිර විශ්ව විද්‍යාලයේදී හා සත්රුකොන්දාන් ප්‍රදේශයේදී දෙමළ වැසියන් සමූහ ඝාතනය කිරීමත්, කුරුක්කල්මඩම් හිදී මුස්ලිම් වැසියන් සමූහ වශයෙන් ඝාතනය කිරීමත් පිළිබඳව විශේෂ විමර්ශන අවශ්‍ය බව කොමිසමේ නිර්දේශයයි.

විශේෂ ජනාධිපති කොමිසම විසින් පසුගියදා ජනාධිපතිවරයාට භාර දුන් අතුරු වාර්තාවේයි, එම නිර්දේශ ඇතුලත් වෙන්නේ.

'ප්‍රතිචාරයක් නෑ'

සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට චෝදනා එල්ල වන අතර, පොලිස් නිලධාරීන් පිරිස ඝාතනය කිරීම පිළිබඳව චෝදනාව එල්ල වන්නේ එල්ටීටීඊ සංවිධානයට.

පොලිස් නිලධාරීන් පිරිස ඝාතනය කෙරුණු අවස්ථාවේ දිවි බේරා ගත් එක් නිලධාරියකු සාක්ෂි දීමට ඉදිරිපත්ව සිටින බව කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු මැක්ස්වල් පරණගම බීබීසී සංදේශයට පැවසීය.

කෙසේ නමුත් ආරක්ෂක හමුදා නිලධාරීන්ට චෝදනා එල්ලවන අවස්ථාවල චුදිතයන් නමින් සඳහන් කිරීමට සාක්ෂිකරුවන් මැලිවන බවයි, කොමිසමේ සභාපතිවරයා පවසන්නේ.

මේ වසරේ අප්‍රේල් 09 වැනි දින දක්වා තමන්ට උතුරු නැගෙනහිර වැසියන් ගෙන් පැමිණිලි 16,153 ක් ලැබුණු බව පවසන කොමිසම, ආරක්ෂක අංශ නිලධාරීන්ගේ පවුල්වලින් තවත් පැමිණිලි 5200 ක් ලැබුණු බව සඳහන් කරයි.

කෙසේ නමුත් ආරක්ෂක අංශවල අත්අඩංගුවේ පසුවන්නන් පිළිබඳව තොරතුරු ලබා දෙන මෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබීම කණගාටුවට කරුණක් බවද කොමිසම සඳහන් කරයි.