ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ඉඩම් විතරක් නොවෙයි ගෙවල් ලබාදීමත් කරනවා' - රනිල්

රජය වතුකර ජනතාවට ලබා දුන් පොරොන්දුව ඉටුකරමින් පර්චස් හතක ඉඩම් කැබැල්ලක් ලබා දීමේ සමාරම්භක උළෙල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල දී පැවැත්වුණි.

එහිදී ජනතාව ඇමතූ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පවසා සිටියේ මෙය ආරම්භයක් පමණක් බවත් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු බොහෝ දේ ඉදිරියටම සිදුකරගෙන යන බවයි.

“මේක විශේෂයෙන්ම වතුකරයේ ජනතාවටත් ලංකාවටත් වැදගත් කාරණයක්. එක්දාස් අටසිය හැත්තාවේදී අසුවේදී මේ රටේ තේ කර්මාන්තය ඇතිකරන්න කියල. ඉන්දියාවේ ඉඳන් ආපු මේ ජනතාවට මෙතෙක් කල් ඉඩමක් තිබුනේ නැහැ” යනුවෙන් පැවසූ අගමැතිවරයා ප්‍රකාශ කළේ ඉඩම් අයිතිය පමණක් නොව නිවාස අයිතියද ලබා දෙන බවයි.

වසර දෙසීයකට අධික කාලයක් වතුකම්කරු ජනතාව ශ්‍රීලංකාව තුළ ජීවත්වුයේ ඉඩම් අඟලකටවත් උරුමකම් නැතිවයි. වරින් වර පැවති මැතිවරණ වල දී ඔවුන්ට සින්නක්කර ඉඩම් ලබා දෙන බවට පොරොන්දු විවිධ දේශපාලනඥයන් ගෙන් ලැබුණද මැතිවරණය අවසන් වීමෙන් පසු ඒවා ඉටුකිරීමට උනන්දු වූයේ නැත.

පසුගිය ජනපතිවරණයේ දීත් ලක්ෂ දෙක හමාරකට ආසන්න වතුකර දෙමළ පවුල් වලට පර්චස් හත බැගින් වූ ඉඩම් කැබැල්ලක් සින්නක්කරවලබාදෙන බවට එලෙස සුපුරුදු පොරොන්දුව ලැබුණු අතර එය ඉටුවේවි යැයි එම ජනතාව බලාපොරොත්තු තබාගත්තේ නැත.

පරම්පරා ගණනාවක් තිස්සේ තම ඥාතීන් ඇතුළු සමස්ත වතුකර දෙමල ජනතාව ඉතා දුක්ඛිත තත්වයෙන් විසු බවයි සින්නක්කර ඉඩම් ලැබීමෙන් උද්දාමයට පත් වූ වතු කම්කරු ජනතාව ප්‍රකාශ කළේ.

අග්‍රාමාත්‍යවරයා ගේ කතාවේ හඬ පටයට සවන් දෙන්න.