බොදු බල සේනාවට එරෙහි චෝදනා කඩිනමින්

Image caption ගලගොඩඅත්තේ ඥානසාර හිමි

ශුද්ධ වූ කුරානයට අපහාස කිරීම සහ වටරැක විජිත හිමියන් නායකත්වය දුන් ජාතික බල සේනා සංවිධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට බාධා කළේ යැයි චෝදනා ලැබ සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ ඇත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසකට විත්ති කූඩුවට නගින මෙන් නියම කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත සිල්වා එම භික්ෂූන්ට එරෙහිව නඩු පවරන මෙන් පොලිසියට නියෝග කළේය.

අදාළ නඩුව මීට පෙර අවස්ථාවල කැඳ වූ එවකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පදවියේ කටයුතු කළ තිලින ගමගේ ප්‍රකාශ කළේ විත්තිකාර හිමිවරුන් විත්ති කූඩුවට නැගීම අනවශ්‍ය බවයි.

එහෙත් අදාළ නඩුව අද කැඳ වූ අවස්ථාවේ සැකකාර හිමිවරු විත්ති කුඩුවට නැග අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතු යයි වත්මන් මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් ප්‍රියන්ත සිල්වා නියෝග කළ බවයි පැමිණිලි පාර්ශ්වයේ නීතිවේදී මෛත්‍රී ගුණරත්න බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ.

මේ අනුව විත්තිකාර භික්ෂූන් වහන්සේලාට මිට පෙර ලබා දී තිබුණ සුවිශේෂත්වය අවසන් කිරීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගෙන ඇත.

විශේෂත්වයක් නැහැ

Image caption බොදු බල සේනා කණ්ඩායමක් පසුගිය වසරේ වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයට ඇතුල් වූ අවස්ථාවක්.

මීට පෙර නඩු දිනවල පොලිසිය ප්‍රකාශ කරමින් සිටියේ නඩු පැවරීම සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට පියවර ගනිමින් සිටින බවයි.

නීතිපති උපදෙස් ලබා ගැනීම අනවශ්‍ය බව කියා සිටි මහේස්ත්‍රාත් ප්‍රියන්ත සිල්වා චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීමට පියවර හන්නා මෙන් පොලිසියට නියම කළේය.

බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අදහස් දක්වමින් මෙම නඩුවල කඩිනමින් අවසානයක් දැකීම තමන් වහන්සේලාට ද අවශ්‍ය බවයි කියා සිටියේ.

නඩු විභාගය ජුනි මස 15 වෙනි දිනට කල් තැබූ මහේස්ත්‍රාත්වරයා චෝදනා පත්‍ර ගොනු කරන මෙන් පොලිසියට නියෝග කළේය.