19 සංශෝධනය; ‘එක්කෝටි විසි ලක්ෂයක් මනාපයි’- ජනාධිපති

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සහයෝගය දෙන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියි.

ජනාධිපතිවරයා එම ඉල්ලීම කළේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ විවාදයට ගනු ලැබීම ආරම්භ වූ අවස්ථාවේ.

තමාට ඡන්දය දුන් ලක්ෂ 62 ක ජනතාව මෙන්ම, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඡන්දය දුන් ලක්ෂ 58 ක ජනතාවත් විධායක ජනාධිපති බලතල ඉවත් කිරීමට ඒකමතිකව අනුමැතිය දී තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා, ඒ අනුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවගේ එකඟත්වය පළ වී ඇති බවයි පෙන්වා දුන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් පැවසුවේ, තම පක්ෂය 19 වන සංශෝධනය සඳහා සංශෝධන කිහිපයක් ඉදිරිපත් කරන බවයි.

මාධ්‍ය නීතියේ වෙනසක්

Image copyright AFP

මේ අතර ප්‍රකාශයක් කළ අගමැති රනිල් වික්‍රමසිංහ පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කළ වගන්තිය ඉවත් කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එම වගන්තිය මගින් මාධ්‍ය නිදහසට බලපෑම් එල්ල විය හැකි බවට විවේචන එල්ල වීමෙන් අනතුරුවයි, එය ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙන්නේ.

ව්‍යවස්ථාදායක සභාවට නියෝජිතයන් පත් කිරීමේදී පිටස්තර පුද්ගලයන් නොව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පත් කර ගත යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ගෙන ආ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන රාජිත සේනාරත්න අමාත්‍යවරයාගෙන් විරෝධය පළ වීම අද (27) පාර්ලිමේන්තුවේ දී දක්නට ලැබුණ විශේෂ අවස්ථාවක් විය.

ව්‍යවස්ථාදායක සභාව

මේ අතර ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අදහස් දැක් වූ එරාන් වික්‍රමරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කළ කරුණු පමණක් 19 වැනි සංශෝධනයට ඇතුළත් කර ඇති බවයි. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ අදහස් දක්වමින් සංශෝධනයට සහාය ලබා දෙන්නේ විපක්ෂය ඉදිරිපත් කර ඇති සංශෝධන අනුමත කළොත් පමණක් බව කියා සිටියේය.

Image caption 19 සම්මත කරන මෙන් ඉල්ලමින්

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විවාදයේ දෙවන හා අවසන් දිනය විසිඅට වෙනි දිනට නියම කොට ඇත.

එදින සවස 19 වැනි සංශෝධනය සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

එය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් හෙවත් මන්ත්‍රීවරුන් 150 කගේ සහාය අවශ්‍යවේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර