සිවරාම් ඝාතන පරීක්ෂණ 'කඩිනම් කරන්න'

Image copyright KS Udayakumar
Image caption සිවරාම් ඝාතන පරීක්ෂණවල ප්‍රගතිය 'සොයා බලා දැනුම් දෙනවා'

මීට දස වසරකට පෙර මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් කොළඹ දී ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන මෙන් මාධ්‍යවේදීහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිති.

මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුව අඟහරුවාදා පොලිස්පතිවරයාට භාර දුන් ලිපියක එම ඉල්ලීම ඇතුලත් වූ බව කමිටුවේ ජාතික සංවිධායක ෆ්‍රෙඩී ගමගේ බීබීසී සංදේශයට පැවසීය.

සිවරාම්, ලසන්ත වික්‍රමතුංග සහ නිමලරාජන් මයිල්වාගනම් ඇතුළු පසුගිය යුගයේ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් පිළිබඳ පරීක්ෂණවල තත්වය සම්බන්ධයෙන් තමන් දැනුවත් කරන ලෙස සහ එම පරීක්ෂණ කඩිනම් කරන ලෙසත්, ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදහන්වීම පිළිබඳ පරීක්ෂණවල ප්‍රගතිය කවරේද යන්නත් සිය ලිපියෙන් විමසන ලද බවත් ඔහු සඳහන් කළේය.

ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ පරීක්ෂණ යළි ආරම්භ කොට තිබෙන බව පොලිස්පති එන් ඉලංගකෝන් එහිදී මාධ්‍යවේදීන් පිරිසට දැනුම් දී තිබේ.

නැවත ආරම්භ කරලා

කෙසේ නමුත් සිවරාම් සහ නිමලරාජන් මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සම්බන්ධ පරීක්ෂණවල තත්වය පිළිබඳව පොලිස්පතිවරයා එම කෙටි සාකච්ඡාවේදී කිසිවක් සඳහන් නොකළ බවත් ෆ්‍රෙඩී ගමගේ සංදේශයට පැවසීය.

Image caption ලසන්ත සහ ප්‍රගීත් පිළිබඳ පරීක්ෂණ 'යළි ආරම්භ කරලා'.

සිවරාම් ඝාතනය සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතිය කවරේ දැයි විමසා බලා දැනුම් දෙන බවට පොලිස්පතිවරයා එහිදී ප්‍රතිඥාවක් දී තිබේ.

එමෙන්ම මෑතක සිට යාපනය ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල බලපෑම් එල්ලවෙමින් තිබීම පිළිබඳවත් පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කළ බවයි, මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුව පවසන්නේ.

එවැනි ඇතැම් බලපෑම් සම්බන්ධයෙන් පොලිස්පති එන කේ ඉලංගකෝන් දැනුවත්ව නොසිටි බව පවසන මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ, ඒ පිළිබඳ වැඩි විස්තර ලබා දෙන මෙන් පොලිස්පතිවරයා තමන්ගෙන් ඉල්ලීමක් කළ බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර