'අපේ ඉඩම් අපට දෙන්න' - ගැමුණුපුර වැසියන්

සේරුවිල සෝමාවතී පුදබිම යා කරමින් මහා වනය මැදින් පාරක් තැනුනේ මීට වසර අටකට පෙර වන අතර ඒ සමගම රට පුරා සිටි ඉඩම් නොමැති බොහෝ පවුල් එම මාර්ගය දෙපස පදිංචියට පැමිණියේ අළුත් ගම්මානයක් බිහි කරමින්.

එම ගම්මානය හැඳින්වෙන්නේ ගැමුණු පුර යනුවෙන්.

ගැමුණු පුරයේ කලක් පදිංචි වී සිටි ජනතාව සහ වන ජීවී දෙපාර්තමේන්තුව අතර ඉඩම් අවුලක් උද්ගත වී ඇති අතර එම ඉඩම් වනජීවී දෙපාර්තමේන්තුව සතු බව පවසන නිලධාරීන්ගේ උත්සාහය වී තිබුණේ එම ජනතාව ඉඩම්වලින් ඉවත් කිරීමයි.

එහෙත් තම ගෙවල් දොරවල් හැර දමා යාමට තැනක් නොමැති බවයි ප්‍රදේශයේ ජනතාව බීබීසී සංදේශය වාර්තා කරු ආර් ජී ධර්මදාස සමග කියා සිටියේ.

ගැමුණු පුරයේ පදිංචි නිශාන්ත සේනාරත්න කියා සිටියේ “2009 ජනවාරි මාසයේ මම මෙහෙ පදිංචියට ආවේ ගොකරැල්ලේ ඉඳලා, ඇවිත් මාස හයකින් පස්සේ මට මෙහෙ ඡන්දෙ ලැබුනා. එතන ඉඳල අවුරුදු පහක් දැනට මම ඡන්දෙ දාල තියෙන්නේ මෙහෙ ඉඳලා, අපේ ගමේ පවුල් තුන්සීයක් විතර මුලින් පදිංචියට ආවා, අපිට ඉඩම් හම්බුනේ සේරුවිල හාමුදුරුවන් යටතේ.” යනුවෙනි.

ඊ එම් පියසීලි කියා සිටියේ තමන්ට ගැමුණු පුරයෙන් අක්කරයක ඉඩමක් ලබා දුන්නේ ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ඇතිව වන බවයි.

'වන ජීවී රක්ෂිතයක්'

ගැමුණු පුර වැසියන්ට මේ දක්වා රජයෙන් ඡන්දය දැමීමේ අයිතිය, විදුලි බල පහසුකම් පමණක් නොව නිවාස ආධාර ද ලබා දී තිබේ.

තමන්ට සිදුව තිබෙන අසාධාරණය පැහැදිලි කරමින් ගැමුණු පුර වැසියන් කියා සිටියේ වසර හයක් කිසිදු බලපෑමක් හෝ නිවේදනයක් නිකුත් නොකළ වන ජීවී නිලධාරීන් හදිසියේ තමන්ට සිය ඉඩම් වලින් ඉවත් වීමට පවසා තිබෙන බවයි.

ගම වැසියන් වෙනුවෙන් පෙනී සිටින උතුරු නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝ නායක සේරුවිල සරණකිත්ති නාහිමියන් කියා සිටියේ එක්දහස් නමසිය හැට ගණන් වල මෙම ප්‍රදේශය වන ජීවී රක්ෂිතයක් බවට ගැසට් පත්‍රිකාවක් ඇති බව පවසමින් වන ජීවී නිලධාරීන් වැසියන් ඉවත් කිරීමට උත්සාහ කරන බවයි.

වන ජීවී නිලධාරීන් විසින් ගනු ලබන පියවර සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් හෝ තමන් වහන්සේව දැනුවත් කර නොමැති බවයි සරණකිත්ති නාහිමියන් තව දුරටත් කියා සිටියේ.

ඉහත කී විරෝධතාවය හමුවේ ප්‍රකාශයක් කළ සේරුවිල ප්‍රාදේශීය ලේකම් ජයරත්න කියා සිටියේ නිලධාරීන්ගේ බලපෑමක් එල්ල වී තිබේ නම් දිසාපතිවරයා සමඟ එක්ව එය නතර කිරීමට පියවර ගන්නා බවයි.

ඉදිරි කාලයෙහි අදාළ ඉඩම් වන ජීවී දෙපාර්තමේන්තුවෙන් ඉවත් කොට නීත්‍යානුකූලව බලපත් දී ඇති ඉඩම්වල අයිතිය පදිංචිකරුවන්ට ලබා දීමට කටයුතු කරන බව කී ප්‍රාදේශීය ලේකම්වරයා ඊට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කරනු ලබා ඇති බවත් සඳහන් කළේය.