කැටපත් පවුර කුරුටු ගෑ ලිය සිය නිවසට

Image caption උදය ශ්‍රී යළි නිවසේ. සතුටට පත් මව සමඟ.

සීගිරිය කැටපත් පවුරේ සිය නම කුරුටු ගෑමේ වරදට සිරගත කෙරුණ විසි අට හැවිරිදි තරුණියක වන සින්නතම්බි උදය ශ්‍රී අද (30) බන්ධනාගාරයෙන් නිදහස ලබා සිය පවුලට එක් වූවාය.

අත්වැරැද්දකින් සිදු කළ වරද සඳහා ලද ජනාධිපති පොදු සමාව යටතේ මුදා හරිනු ලැබීමට නියමිතව සිටියත් ඇයට තවත් කලක් බන්ධනාගාරයේ ගත කිරීමට සිදු විය.

මඩකලපුව ප්‍රදේශයේ කාන්තාවක් වන සින්නතම්බි උදය ශ්‍රී පසු ගිය පෙබරවාරි 14 වැනි දා විනෝද චාරිකාවක යෙදී සිටියදී මිත්‍රයන් සමග සීගිරිය නැරඹීමට ගිය අවස්ථාවේ කොන්ඩ කටුවකින් කැටපත් පවුරේ තම නම ලියා ඊට හානි කළ බවටයි චෝදනා ලැබ සිටියේ.

එම චෝදනාව යටතේ දඹුල්ල පොලිසිය විසින් සින්නතම්බි උදය ශ්‍රී අත් අඩංගුවට ගනු ලැබුණ අතර අධිකරණය ඇයට වසර දෙකක සිර දඬුවමක් නියම කළේය.

Image copyright Sinathambi Thaumani
Image caption පවුලේ සාමාජිකයන්

ජනාධිපති සමාව

සිර ගත කෙරුණ ඇයගේ පවුලේ තත්වය සැලකිල්ලට ගනිමින් පොදු සමාවක් ලබා දෙන ලෙස විවිධ පාර්ශව ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් ඉදිරි පත් කර තිබුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අප්‍රියෙල් මස පළමු වෙනිදා සින්නතම්බි උදය ශ්‍රීට සමාවක් ලබා දී තිබුණත් නීතිමය ගැටළු හේතුවෙන් මසකට පසුවයි ඇයට නිදහස ලැබ නිවසට යාමට අවස්ථාව ලැබුණේ.

එම ප්‍රමාදයට හේතුව දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කරනු ලැබ ඒවා විභාග වෙමින් පැවතීමයි.

එම මෙම පෙත්සම් දෙක ඉල්ලා අස් කර ගැනීමෙන් අනතුරුවයි සින්නතම්බි උදය ශ්‍රී නිදහස ලැබ සිය පවුලට එකතු වුණේ.