වැඩ කරන ජනතාව මැයි දිනයේත් රැකියාවේ

ලෝකයේ වැඩ කරන ජනතාවගේ දිනය එසේත් නැත්නම් මැයි දිනය ශ්‍රී ලංකාවට ආගන්තුක දිනයක් නොවේ.

කම්කරුවන් ලෙස හඳුන්වන ශ්‍රම වෙහෙසන්නන් බහුතරයක් දෙනා ඒ දිනය ගත්කරන්නේ තමන් රැකියාව කරන ආයතනයේවත් නිවසේවත් නොව කම්කරු දිනය සැමරෙන දිවයිනේ ප්‍රධාන ක්‍රීඩාංගණවල.

විශේෂයෙන් කොළඹ නගරය අවට පැවැත්වෙන ප්‍රධාන මැයි රැළි වෙනුවෙන් රතු ධජ අතින් ගත් හෝ විවිධ දේශපාලන සලකුණු පැළඳ ගත් කම්කරුවන් සිය දහසක් දෙනා රැස් කමින් සිටීම සුපුරුදු දර්ශනයක්.

කම්කරුවන් පිළිබඳව සොයා බලද්දී නිදහස් වෙළඳ කලාපය කිසිසේත්ම අමතක කළ නොහැකියි.

කටුනායක වෙළඳ කලාපය තුළ කම්කරුවන් පනස් දහස ඉක්මවන අතර ඉන් බහුතරය ඇඟලුම් සේවිකාවන්. වෙළඳ කලාපය තුළ දහඩිය වගුරන වෙළඳ කලාප සේවක සේවිකාවන් මැයි දිනය සැමරුවේද?

Image caption මැයි පෙළපාලියක් සහ රැළියක්

වෙළඳ කලාපයේ වසර ගණනාවක් සේවය කළ හතලිස් පස් හැවිරිදි නාලනී පැවසුවේ සිය ජීවිත කාලය තුළ ඇය කිසිදු මැයි දින රැළියකට සහභාගි වී නැති බවයි.

නිදහස් වෙළෙඳ කලාපය

නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන එස් ටී වන්නිනායක පවසන්නේ ජාත්‍යන්තර මැයි දිනයේදී තමන්ට ලැබෙන නිවාඩුව භුක්ති විඳීම වැදගත් වැදගත් බවයි.

මැයි දිනය පිළිබඳව සැලකිය යුතු උනන්දුවක් දක්වන වෙළඳ කලාප සේවක දඹුල්ලේ සිට පැමිණි උදයකුමාර සම්පත්, මැයි දින වේදිකාවට දේශපාලනඥයින් ගොඩ වී ඇතැයි පවසමින් මැයි දිනය පිළිබඳව දැක්වුවේ කලකිරුණු ආකල්පයක්.

කෙසේ නමුත් මැයි දින සැමරුමට සහභාගි වීමට හා තමන් සමග සහෝදර සේවක පිරිස් රැගෙන යාමට වෙහෙස වෙමින් සිටි අසේල ධර්මප්‍රිය දිසානායක කථා කළේ දැඩි උද්යෝගයකින්.

ශ්‍රී ලාංකික ජනතාව පාට, පක්ෂ, මතවාද, අරමුණු මුල් කර ගනිමින් සැමරූ තවත් එක් මැයි දිනයක් අවසන් වන විට කම්කරුවන් බහුතරයක් යහපාලනය තුළ කම්කරු දිනය සැමරුවේද යන්න ප්‍රශ්නයක්.

කෙසේ වුවද,ඇතැම් ශ්‍රමිකයන් සිය නිවාඩුව පවා භුක්ති නොවිඳිමින් මැයි දිනයේත් ඇඟලුම් කම්හලේ සේවයට වාර්තා කර ඇති බවයි, සමහර සේවකයන් කියා සිටියේ.

(කටුනායක වෙළඳ කලාපයේ සංචාරයකින් අනතුරුව ශිවන්ති ප්‍රනාන්දු බීබීසී සංදේශයට සකස් කළ වාර්තාවක් ඇසුරින්)