‘ලෝක කම්කරු දිනයේ මැදපෙරදිග ශ්‍රමිකයන් ගැන සිතමු’ - බැසිල්

Image copyright Reuters

මැද පෙරදිග ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සේවා තත්වය, ඔවුන්ගේ අයිතිවාසිකම් සහ රැකවරණය සඳහා නව ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුව ඇතැයි ආසියානු මානව හිමිකම් කොමිසමේ බැසිල් ප්‍රනාන්දු පවසයි.

මැයි දිනය නිමිත්තෙන් බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගී වූ මානව හිමිකම් ක්‍රියාධර බැසිල් ප්‍රනාන්දු සඳහන් කළේ සේවා අයිතිවාසිකම් නොව ඇතැම් විට මැදපෙරදිග ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ජීවිතය පවා අහිමි වීමේ අනතුරක් පවතින බවයි.

එවැනි තත්වයක පසු වෙන මැදපෙරදිග ශ්‍රමිකයන්ගේ තත්වය පිළිබඳව මෙම මැයි දිනයේ සාකච්ඡාවට ගැනීම ඉතා වැදගත් කරුණක් යයි කියා සිටි බැසිල් ප්‍රනාන්දු වැඩි දෙනෙක් කාන්තාවන් වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කිසිදු ආරක්ෂාවකින් තොරව රැකියා කරන බවයි පෙන්වා දුන්නේ.

ඔහු එම රැකියා විග්‍රහ කළේ ‘අර්ධ වහල්භාවයක්’ හැටියටයි.

Image copyright bbc
Image caption සෞදි අරාබියේ දී මරණ දඬුවමට යටත් කෙරුණ රිශානා නෆීක් ගේ නිවස

‘එම ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බොහෝ විට කතා කළත් කිසිම ප්‍රායෝගික පියවරක් ගෙන නැහැ. බොහෝ විට ඔවුන් රැකියාවලින් නෙරපා හරිනු ලැබෙනවා. නිවෙස් තුළ ශාරීරික වධ හිංසාවන්ට ගොදුරු කෙරෙනවා. ඇතැම් විට කටුනායකට ගෙන එනු ලබන්නේ ඔවුන්ගේ මෘත දේහයයි’ මානව හිමිකම් කොමිසමේ ක්‍රියාධර බැසිල් ප්‍රනාන්දු කියා සිටියි.

අර්ධ වහල් භාවයක්

ආසියාවේ සමහර රටවල ආණ්ඩු ඔවුන්ගේ ශ්‍රමිකයන් ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව සම්බන්ධයෙන් මැදපෙරදිග රටවල් සමඟ ගිවිසුම් ඇතිකර ගෙන ඇතත් ශ්‍රී ලංකාව ඒ සඳහා විධිමත් පියවරක් ගෙන නොමැති බවත් ඔහු පවසයි.

‘ශ්‍රී ලංකාව ඒ සඳහා පියවර ගෙන නැහැ. හේතුව අයිතිවාසිකම් ගැන කතා කිරීමට ගියොත් මැදපෙරදිග ශ්‍රම වෙළෙඳපොළ වැසී යනු ඇතැයි පවතින බිය නිසා. එමගින් විදේශ විනිමය අහිමි වේය කියන බිය නිසා’ බැසිල් ප්‍රනාන්දු පවසයි.

Image copyright Basil Fernando
Image caption ආසියානු මානව හිමිකම් කොමිසමේ බැසිල් ප්‍රනාන්දු

එසේම හාම්පුතුන්ගේ හිරිහැර වලින් බේරීමට මැදපෙරදිග තානාපති කාර්යාල වලට එන ශ්‍රමිකයන් එහිදී නැවත හිරිහැර ආදියට ලක් වෙන බව පෙන්වා දුන් බැසිල් ප්‍රනාන්දු, ඊට හේතුවක් වුනේ පසුගිය ආණ්ඩුව විසින් ඥාති හිතවත්කම් අනුව තානාපති අංශය සඳහා සිදු කරන ලද පත් කිරීම් බවත් කියා සිටියේය.

මෙවැනි අහිතකර වාතාවරණයක් යටතේ මැදපෙරදිග රටවලට ශ්‍රමිකයන් යැවීම නතර කළ යුතු බවට පළ වෙන ප්‍රකාශන ගැන අදහස් දක්වමින් බැසිල් ප්‍රනාන්දු සඳහන් කළේ ‘ එවැනි දුෂ්කර රැකියා සඳහා ජනතාව යොමු වන්නේ වෙනත් විකල්පයක් නොමැති කම නිසා’ වන බවයි.

‘රට තුළ හරි රැකියාවක් හරි වේතනයක් ලැබෙනවා නම් ජනතාව එවැනි අති දුෂ්කර රැකියා සඳහා යන්නේ නැහැ’ ආසියානු මානව හිමිකම් කොමිසමේ මානව හිමිකම් ක්‍රියාධරයා පවසයි.

මේ තත්වය යටතේ එවැනි ශ්‍රමිකයන්ගේ අනාගතය වෙනුවෙන් නව ආණ්ඩුව ඉක්මන් පියවර ගත යුතුව ඇති බවයි ලෝක කම්කරු දිනය නිමිත්තෙන් පවත්වන ලද සාකච්ඡාවේ දී ඔහු පෙන්වා දුන්නේ.