ශ්‍රී ලංකා ආධාර: ‘නේපාලයේ දෙදහසකට ප්‍රතිකාර’

Image copyright Getty

වෛද්‍යාධාර ලබා දෙන අතරතුර භූමිකම්පාවෙන් හානියට පත් මාර්ග පිළිසකර කරමින් සිය කණ්ඩායම නේපාලයේ දුෂ්කර ගම්මාන වෙත ළඟා වීම ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ආධාර කණ්ඩායමේ නායක මේජර් ජනරාල් මෛත්‍රී ඩයස් පැවසුවේය.

මාර්ග පිළිසකර කිරීම සඳහා නේපාල හමුදාවෙන් සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා පුහුණු කරන අංශයෙන් පස් කපන යන්ත්‍ර ලබා ගත් බවයි ඔහු කියා සිටියේ.

‘අපේ ඉංජිනේරු කණ්ඩායම පැමිණීමත් සමගම අපි මේ ප්‍රදේශයේ මාර්ග පිළිසකර කරමින් දුෂ්කර ගම්මාන වෙත ළඟා වීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අපට අද දිනය අවසන් වන විට පුළුවන් වෙලා තියනවා දැනට දෙදාහකට ආසන්න සංඛ්‍යාවකට ප්‍රතිකාර ලබා දෙන්න’ මේජර් ජනරාල් මෛත්‍රී ඩයස් කියා සිටියේ බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක් වෙමින්.

ඒ අතුරින් පන්සීයකට අධික පිරිසකට ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය කර තිබූ බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර භූමිකම්පාවෙන් විපතට පත් පිරිස් වෙත ආධාර රැගත් තවත් ශ්‍රී ලංකා ගුවන් හමුදා යානයක් නේපාලයට ළඟා වී තිබේ.

‘තුන්වෙනි යානෙන් අපිට අවශ්‍ය වෛද්‍ය උපකරණ හා බෙහෙතුත් ඒ වගේම මේ රටේ ජනතාව සඳහා අවශ්‍ය බඩුබාහිරාදිය අපේ රජයෙන්, ශ්‍රී ලංකා රජයෙන් අතිගරු ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශාල බඩු ප්‍රමාණයක් නේපාල රාජ්‍යයට ගෙනත් බාර දුන්නා’ සහන සේවා සඳහා නේපාලයට ගොස් සිටින මේජර් ජනරාල් මෛත්‍රී ඩයස් පැවසුවේය.

ශ්‍රී ලංකා ආධාර කණ්ඩායම රැඳී සිටින ප්‍රදේශය ආසන්නයේ වූ පන්සලක වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලා ඇතුළු එම ගම්මානයේ පිහිටි අනාථ නිවාසයක වෙසෙන කුඩා දරුවන්ට දානය පිළිගැන්වීම සඳහා තම කණ්ඩායම නේපාලයේ වෙසක් උත්සවය වෙනුවෙන් නිවාඩු ලබා දී ඇති හෙට දිනයේ කටයුතු කරන බවත් මේජර් ජනරාල් මෛත්‍රී ඩයස් වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර