ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පෞද්ගලික රෝහලෙන් 'දඬුවම් ලැබූ' වෛද්‍යවරිය

බාහිර රෝගී අංශයේදී තමන්ගෙන් ප්‍රතිකාර ලබන රෝගීන් එම රෝහලටම ඇතුලත් නොකිරීම හේතුවෙන් රෝගීන් බහුලව පැමිණෙන කාලසීමාව තුල කොළඹ පෞද්ගලික රෝහලක රෝගීන් බැලීමේ අවස්ථාව අහිමි කෙරුණු බව වෛද්‍යවරියක පවසයි.

බාහිර රෝගී අංශයේදී ප්‍රතිකාර ලැබූ රෝගීන්ට රජයේ රෝහලකට ඇතුලත් වන මෙන් නිර්දේශ කිරීම එසේ 'දඬුවම් ලැබීම' සඳහා එම වෛද්‍යවරිය විසින් සිදු කරන ලද 'වරදයි.'

වෛද්‍යවරියක ලෙසින් සිය යුතුකම රෝහලකට ආදායම් ලබා දීම නොව රෝගියාට වඩාත්ම සුදුසු ප්‍රතිකාරය නිර්දේශ කිරීම බව රෝහල් බලධාරීන්ට දැනුම් දී එවක් පටන් එම රෝහලේදී රෝගීන්ට ප්‍රතිකාර කිරීම නවතා දැමූ බවද එම වෛද්‍යවරිය බීබීසී සංදේශයට කියා සිටියාය.

සිය නම හෙළි නොකරන මෙන් ඇය ඉල්ලා සිටියාය.

ව්‍යාජ ලදු පත්

"පුද්ගලික රෝහලට ලෙඩ්ඩු ඇතුල් කරන්නේ නැහැ කියල මට චෝදනාවක් ලැබිල, මට කථා කරලා කිවුව ඒක එහෙම කරන්නේ නැත්නම් හතරට දෙන වෙලාව දෙන්න බෑ අටට දෙන්නම් කියල," වෛද්‍යවරිය සඳහන් කළාය.

වෛද්‍යවරිය ඒ අදහස් පළ කළේ රෝගීන්ට සපයන සේවාවන්ට ලදු පත් සැපයීමේදී එම සේවාවන් කවරේද යන්න එහි සවිස්තරව සඳහන් කරන මෙන් පාරිභෝගික සේවා අධිකාරිය පෞද්ගලික රෝහල්වලට කළ නියෝගය පිළිබඳව සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.

Image caption "සල්ලි ලබා ගැනීමේ පරමාර්ථයක් ඇතුව නෙවෙයි ලෙඩෙක් ඇතුල් කරන්නෙ කියල මම පැහැදිලි කරලා දුන්න" - වෛද්‍යවරියක්

පුද්ගලික රෝහල්වලින් ලැබෙන බිල් පත් සම්බන්ධයෙන් රෝගීන්ගෙන් සහ වෛද්‍යවරුන් ගෙන් ලැබුන පැමිණිලි සලකා බලා මෙම නියෝගය කළ බවයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති රූමි මර්සුක් ජනමාධ්‍ය වෙත පවසා තිබුනේ.

විශේෂයෙන්ම වෙළඳ පොලේ වඩා පහසු මිලකට ලබා ගත හැකි ඖෂධ වර්ග රෝගීන්ට ලබා දී ඉහල වර්ගයේ ඖෂධ ලබා දුන් බවට ලදු පත් නිකුත් කිරීමේ අවස්ථා පිළිබඳව චෝදනා ලැබී තිබෙන බවට සභාපතිවරයා කරන ප්‍රකාශය වෛද්‍යවරියද අනුමත කරන්නීය.

"සතියක් ගානේ බිල දෙනවා පේෂන්ට්ට මේ ගාන ගෙවන්න කියල. ඒ බිලේ කිසිම ඩීටේල්ස් නැහැ. ඒ නිසා මේ තීන්දුව හොඳයි කියල තමයි මට හිතෙන්නේ," ඇය පවසන්නීය.

පාරිභෝගික සේවා අධිකාරියේ මෙම නියෝගය සම්බන්ධයෙන් බොහෝ රටවැසියන් ගෙන් පළ වූයේ ප්‍රබල ප්‍රසාදයක්.

එහෙත් ශ්‍රී ලංකාවේ ජනතාව බොහෝ දේට හිස නමින් ඉවසා දරා සිටින හෙයින්, නව නියෝගයෙන් ප්‍රතිඵල ලබාගැනීමට ඔවුන් කෙතරම් උත්සුක වනු ඇත්දැයි යන්න සැක සහිත බවත් එම වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.

අදාළ නියෝගය පිළිබඳව විමසූ අවස්ථාවේ, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සංදේශයට කියා සිටියේ ඒ පිළිබඳව දැනුවත් නොමැති බැවින් පසුව අදහස් දක්වන බවයි.

(සවන් දෙන්න එම වෛද්‍යවරිය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේ හඬ පටයට)