ඉක්මන් මහමැතිවරණයක් අවශ්‍යයි - එජාප

Image copyright UNP
Image caption "ඉතා කෙටිකාලයක් තුල සෑම මතයකටම එකඟවිය හැකි ක්‍රමයක් හදලා, ඒ සඳහා යාන්ත්‍රණයක් හදල, සීමා නිර්ණායක සකස් කරන එක ඉතා අමාරු වැඩක්"

ජනතාවට පොරොන්දු වූ පරිදි ඉතා ඉක්මනින් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි.

පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් ඒ බව කියා සිටියේ, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමින්.

නව මැතිවරණ ක්‍රමයක් පිළිබඳව එකඟතාවයක් ඇති කරගෙන එම ක්‍රමය යටතේ ඉක්මන් මැතිවරණයක් පැවැත්විය නොහැකි නම් පවතින ක්‍රමය යටතේ මහ මැතිවරණය පැවැත්විය යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

"නව ජන්ද ක්‍රමයක් ඇති විය යුතු බව අපේ මතයයි. එක ක්‍රමයකට හැමෝම කැමති නම් ඒ ක්‍රමයටම ජන්දය තියන්න පුළුවන්," අමාත්‍ය කබීර් හෂීම් පැවසීය.

'ජනමතයක් නෑ'

"අකමැති නම් තව සාකච්ඡා කරලා තීරණය කරන්න ඕන. නමුත් ඒ තීරණය කරනකන් අපිට ඡන්දය කල් දමන්න බැහැ."

වත්මන් පාර්ලිමේන්තුව තුළ එම සැබෑ ජනමතය පෙන්නුම් නොකරන බැවින්, හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ජනමතය පිළිබිඹු වන පාර්ලිමේන්තුවක් පත් කර ගත යුතු බවයි, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා සඳහන් කළේ.

නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් විවිධ පක්ෂ විවිධ මත දරන බව පැවසූ අමාත්‍යවරයා, එවන් වාතාවරණයක් තුල මැතිවරණ ක්‍රමයකට එකඟ වී එම ක්‍රමය යටතේ ඉක්මන් මැතිවරණයක් පැවැත්වීම අසීරු වනු ඇති බව පෙන්වා දුන්නේය.

"ඉතා කෙටිකාලයක් තුල සෑම මතයකටම එකඟවිය හැකි ක්‍රමයක් හදලා, ඒ සඳහා යාන්ත්‍රණයක් හදල, සීමා නිර්ණායක සකස් කරන එක ඉතා අමාරු වැඩක්," ඔහු පැවසීය.

"ඒ නිසා තියෙන ක්‍රමයටම තමයි ඡන්දෙ තියන්න වෙන්නේ."

ජනාධිපතිවරයා පත්කිරීමට උදව් කළ පාර්ශව ගණනාවක්ම ඉක්මන් මැතිවරණයක් ඉල්ලා සිටින බව පැවසූ කබීර් හෂීම් අමාත්‍යවරයා, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සාකච්ඡා කොට ඒ ගැන තීන්දුවක් ගනු ඇති බව වැඩිදුරටත් කියා සිටියේය.

මහ මැතිවරණය හේතුවෙන් පළාත් පාලන ජන්දය කල්දැමීමට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර