$ බිලියන 18 චෝදනාව මහින්ද ප්‍රතික්ෂේප කරයි

රාජපක්ෂ පවුලේ සාමාජිකයින් සතු වත්කම ඩොලර් බිලියන 18 ක් පමණ වන බව බුද්ධි අංශ අනාවරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරයි.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු එසේ කියා සිටියේ.

ඉදිරි මහා මැතිවරණය ගැන අදහස් දැක්වූ ඇමතිවරයා පැවසුවේ දේශපාලන පක්ෂ වෙන වෙනම තරඟ කලත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට වැඩ කිරීමට බැදී සිටින බවයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යළි දේශපාලනයට අවතීර්ණ වීම මගින් එක්සත් ජාතික පක්ෂයට වාසි සැලසෙන බවත් මංගල සමරවීර ඇමතිවරයා ප්‍රකාශ කළේය.

රාජපක්ෂ පවුලට එල්ල කරන චෝදනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

එවැනි වත්කම් පිළිබඳව තොරතුරු ඇත්නම් ඒවා ඉදිරිපත් කොට ඔවුන්ට එරෙහිව පියවර ගන්නා ලෙසට හිටපු ජනාධිපතිපතිවරයා අභියෝග කරන බවයි ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට සංදේශයට පැවසුවේ.