අධිකරණයට අපහාස: චුදිතයන් ඇප මත නිදහස්

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අල්ලස් කොමිසම ඉදිරියේ උද්ඝෝෂණ සිදු කළ බවට චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, භික්ෂූන් වහන්සේ ඇතුළු විසි හය දෙනෙකු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔවුන් ඇප මත නිදහස් කළේ, නඩුව විභාග වන තුරු මහජන සාමය කඩ කරන ක්‍රියාවල නිරත වීම තහනම් බවට කොන්දේසියක් පණවමින්.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේ දී ඒ අසල උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබිය දීත් සැකකරුවන් මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කළ බවයි, පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ.

එම චෝදනාව ප්‍රතික්ෂේප කළ නඩුවේ සැකකරුවකු වන දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ, මෙවැනි අධිකරණ නියෝගයක් පිළිබඳව තමන් වහන්සේලා දැනුවත්ව නොසිටි බව සඳහන් කළහ.

'දැන සිටියේ නෑ'

"මෙවැනි නියෝගයක් ගැන අපි දැනුවත්ව හිටියේ නැහැ. පොලිසිය අධිකරණය නොමග යවලා මේ නඩුව පවරා තිබෙනවා," උන්වහන්සේ චෝදනා කළහ.

නඩුව කැඳවූ අවස්ථාවේදී කරුණු දැක්වූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය, මාර්ගය අවහිර කරමින් පිරිත් දේශනා කිරිම බුදු දහමට එකඟ දැයි විත්තියේ නීතිවේදීන් ගෙන් ප්‍රශ්න කළේය.

සැකකරුවන් පිරිස එම අවස්ථාවේදීම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම පිළිබඳව පොලිසිය වෙත දෝෂාරෝපණ එල්ල කළ මහේස්ත්‍රාත්වරයා, එහිදී වරදක් සිදු කළ බවට පොලිසියට චෝදනා කළේය.

කෙසේ වෙතත් අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තමන් තුළ නොවූ බවයි, ඇප ලබාගැනීමෙන් පසුව මාධ්‍යවලට අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ.

බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, රොෂාන් රණසිංහ, ඩලස් අලහප්පෙරුම, උදිත ලොකු බණ්ඩාර, ජානක ප්‍රියන්ත බණ්ඩාර, එස්එම චන්ද්‍රසේන, සරත් වීරසේකර, වීරකුමාර දිසානායක සහ ජයන්ත කැටගොඩ ඇතුළු පිරිසක් ඇප මත මුදාහැරුණු මන්ත්‍රීවරු අතර සිටිති.

ජාතික කොඩියට අපහාස

ඊට අමතරව බස්නාහිර ප්‍රධාන ඇමති ප්‍රසන්න රණතුංග, උදය ගම්මන්පිල, උපාලි කොඩිකාර, රෝජර් සෙනෙවිරත්න, සුනිල් ජයමුනි ඇතුළු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරු ද ඇප මත මුදාහැර තිබේ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද, මැදගොඩ අභයතිස්ස, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමිවරු ඇතුළු භික්ෂුන් වහන්සේ පිරිසක්ද විත්තිකරුවන් අතර සිටිති.

සැකකරුවකු ලෙස නම් කර තිබු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, උන් වහන්සේ මිළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන මෙන්ද අධිකරණය නියෝග කළේය.

වැඩිදුර විමසීම ජුලි මස 13 වනදාට කල් තැබිණ.

උද්ඝෝෂකයන් ජාතික කොඩියට අපහාස කළ බවට චෝදනා කරමින් ඉදිරිපත් කර ඇති පැමිණිලි පිළිබඳව පරීක්ෂණ පවත්වා සැකකරුවන් අනාවරණය වේ නම් ඔවුන් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද කොළඹ මහේස්ත්‍රාත්වරයා මේ අතර රහස් පොලිසියට නියම කර තිබේ.