ළමුන්ට එරෙහිව දිනකට අපරාධ විසි දෙකක් -රෝසි

  • තිසර අරවින්ද රතුවිතාන
  • බීබීසී

ශ්‍රී ලංකාවේ දරුවන්ට එරෙහිව දිනකට අපරාධ විසි දෙකක් වාර්තා වන බව ළමා කටයුතු පිළිබඳ ඇමතිනි රෝසි සේනානායක පවසන්නීය.

පසුගිය වසර හතර ඇතුළත පමණක් ලංකාවේ ළමුන්ට එරෙහිව සුළු හා බල අපරාධ තිස් දෙදාහකට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවද රෝසි සේනානායක අමාත්‍යවරිය තවදුරටත් කියා සිටියාය.

‘මම අගමැතිතුමාට යෝජනාවක් ගේන්න සුදානම් කරලා තියෙනවා ළමයින්ටම වෙනම පොලිස් ඒකකයක්. දිනකට විසි දෙකක් දරුවන්ට එරෙහිව සිදු වන අපරාධ වාර්තා වෙනවා. මේක ඉතාමත්ම කනගාටු දායක තත්වයක්. අපි වගේ පුංචි රටක දරුවෝ විසි දෙදෙනෙක් දවසකට හිංසනයට, අපයෝජනයට, අපචාරයට ලක් වෙනවා කියන්නේ අපි සතුටු විය හැකි තැනක නොවෙයි ඉන්නේ.’ ඇය පවසන්නීය.

ළමා සංගණනයක්

ළමා ශ්‍රමිකයන් පිළිබඳව ද ශ්‍රී ලංකාවේ සැබෑ තත්වය සොයා බැලිය යුතු බවයි ඇමතිවරිය බීබීසීයට කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ ළමුන් පිළිබඳව සියලු තොරතුරු හෙළිදරව් කර ගැනීම සඳහා ජාතික ළමා සංගණනයක් පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බවත් ඉන් ලබා ගන්නා දත්තයන් අධ්‍යයනය කිරීමෙන් ළමුන්ට ආරක්ෂාව සැපයීම කාර්යක්ෂම කළ හැකි බවත් ඇය තවදුරටත් කියා සිටියාය.

දරුවෝ දාහතර දාහක්

‘අද මේ දරුවන් මුහුණ පාන පසුබිම අප සොයා බැලිය යුතුයි. මේක මගේ වගකීම. මේක රජයේ වගකීම. මේ තාක් කල් ඒක නොකළා නම් හිටපු ඇමතිවරු ඒකට වග කියන්න ඕන. අද පරිවාස ආයතන වල දරුවෝ දාහතර දාහක් ඉන්නවා. ඉතිහාසයේ අපි ශක්තිමත් රටක්. ජපානයත් එක්ක සංසන්දනය කරලා බලනකොට ඒක පුද්ගල ආදායමේ එක ඩොලරයක වෙනසක් අපට තිබුනේ. අද අපි කොතනද ඉන්නේ. දෙවන ලෝක යුද්දෙන් පස්සේ වන්දි දෙනකොට අපි වන්දි ප්‍රතික්‍ෂේප කරපු රටක්. ඒ තරම් අභිමානවත් රටක් අද කොතනද ඉන්නේ?’ රෝසි සේනානායක අමාත්‍යවරිය පවසන්නීය.