නගර අලංකරණය: ‘පිළිකා රෝගියකුට රූපලාවණ්‍ය ලබා දීමක්’

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නගර අලංකරණයට පෙර වඩා වැදගත් වන්නේ මිනිසුන්ට පහසුවෙන් ජීවත් විය හැකි හිතකර පරිසරයක් ගොඩ නැගීම බව ඇමරිකාවේ නාසා පර්යේෂණ උද්‍යානයේ උපාධි අධ්‍යන පාඨමාලාවක් සඳහා තෝරා ගැනුණු නදීෂා චන්ද්‍රසේන පවසයි.

‘නගර අලංකරණය කියන්නේ වෙනම දෙයක්. උදාහරණයක් විදිහට ගන්න පිළිකා රෝගියෙක්. පිළිකා රෝගියාට මේ මොහොතේ කරන්න තියෙන්නේ අදාළ ප්‍රතිකාර දීලා පිළිකාව මර්දනය කිරීම. එයාට රූපලාවණ්‍ය ප්‍රතිකාර දෙනවා කියන්නේ වෙනම දෙයක්. නගරයේ තත්වයත් එහෙම තමයි. කොළඹ තත්වයත් එහෙම තමයි’ යනුවෙන් ඇය කියා සිටියේ බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක් වෙමින්.

ඇමරිකාවේ නාසා පර්යේෂණ උද්‍යානයේ සින්ගියුලරිටි විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යන පාඨමාලාවට සහභාගී වීමට වරම් ලද පළමු ශ්‍රී ලාංකිකයා නදීෂා චන්ද්‍රසේනයි.

‘මේකෙන් කෙරෙන්නේ ලෝකය පුරා විසිරිලා ඉන්න නව නිපැයුම්කරුවන්, විද්‍යාඥයන්, විවසායකයන් අසූ දෙනෙක්ව නාසා ආයතනයට ගෙන්නලා ඒ අසූ දෙනාට ඉදිරි වසර දහය ඇතුළත ලෝකයේ මිනිස්සු බිලියනයකගේ ජීවිත යහපත් ලෙස වෙනස් කරන්න පුළුවන් නව නිපැයුමක්, අලුත් ව්‍යාපෘතියක් පටන් ගන්න අවශ්‍ය පහසුකම් සලසන ඒක’ ඇය පැවසුවාය.

මැලේසියාවේ පෙට්‍රොනාස් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යා ක්ෂේත්‍රයේ ආචාර්ය උපාධිය හදාරන නදීෂා චන්ද්‍රසේන මෙම පාඨමාලාවට තෝරා ගනු ලැබ තිබෙන්නේ ලොව පුරා අයදුම්කරුවන් පන්දහසක් අතුරින්.

සිය ආචාර්ය උපාධි පර්යේෂණය සඳහා ඉදිරිපත් කළ ව්‍යාපෘතියේ වූ යෝජනාව හේතුවෙන් එම අවස්ථාව තමාට හිමි වූ බව ඇය සඳහන් කළාය.

ජනාකීර්ණ නගරවල වැසි ජලය ගලා යෑම සඳහා වන කාණු පද්ධති, ඝන අපද්‍රව්‍ය නිසා අවහිර වීම වළක්වාලන ක්‍රමවේදයක් නදීෂා චන්ද්‍රසේන සිය ව්‍යාපෘතිය තුළින් හඳුන්වා දී තිබේ.

'ලංකාවට සේවයක්'

‘මගේ ව්‍යාපෘතිය තුළින්, ස්තර දෙකක කාණුවක් නිර්මාණය කරලා, පළමු ස්තරය ඝන අපද්‍රව්‍ය රැඳෙන්නත්, දෙවැනි ස්තරය වැහි වතුර ගලාගෙන යන්නත්. එතකොට වැස්සක් වැටුනත් කාණු හිර වෙන්නේ නැහැ. එතකොට ගංවතුර තත්වය අවම වෙනවා’ ඇය කියා සිටියාය.

වර්ෂාවෙන් පසු ඇති වන හදිසි ගංවතුර තත්වයන්ට අමතරව විශේෂයෙන් කොළඹ නගරයේ දිළිඳු ජනාවාස සහිත ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය සම්බන්ධයෙන්ද ගැට‍ළු පවතින බවයි නදීෂා චන්ද්‍රසේන සඳහන් කළේ.

‘මගේ ව්‍යාපෘති යෝජනාවෙන් සිද්ධ වෙන්නේ නගරය, මිනිසුන්ට හිතකර ලෙස ජීවත් වීමට සුදුසු තැනක් බවට පත් කිරීම. කොළඹ විතරක් නෙවෙයි කල්කටාව, බංගලාදේශය, ඉන්දියාව අප්‍රිකාවේ සහ ඉන්දියාවේ සියලු රටවල් ගත්තහම දිළිඳු ජනාවාස කියන්නේ සියයට පනහ ඉක්මවා යන දෙයක් සාමාන්‍ය ජනාවාස හා සැසදීමේදී’ ඇය කියා සිටියාය.

‘නගර අලංකරණය හෝ නගර සංවර්ධනය කියන වැඩපිළිවෙළ මගින් භෞතික ඉදිකිරීම් කෙරෙනවා. නමුත් වැස්සක් වැටුනහම අමතර වැහි වතුර කොහෙටද ගලා යන්නේ, ඒ වතුර ගලා යන්න තියන කාණු ප්‍රමාණය ප්‍රමාණවත්ද කියන දේ හිතන්නේ අඩුවෙන්. ඒක ගැන ඒගොල්ලෝ තක්සේරුවක් කරනවා ඇති. නමුත් තක්සේරුව අඩුයි. ඒ වෙනුවෙන් වැඩ කරලා නැහැ’ ඇය පැවසුවාය.

Image copyright Getty

ඇමරිකාවේ නාසා පර්යේෂණ උද්‍යානය විසින් තමාට ලබා දී ඇති උපාධි අධ්‍යන පාඨමාලාව තුළින් ශ්‍රී ලංකාවට සේවයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය සඳහන් කළාය.

‘ලංකාවේ මිලියන විස්සට කතා කරන්නේ නැතුව, ලංකාවේ මිලියන විස්සගේ ජීවිත පහසු තත්වයට පත් කරන්නේ නැතුව මට ලෝකේ ඉතුරු බිලියනයට කතා කරලා වැඩක් නැහැනේ. ඉතින් ප්‍රායෝගිකව ලංකාවේ ඉන්න මිලියන විස්සට තමයි මම මුලින්ම කතා කරන්නේ’ නදීෂා චන්ද්‍රසේන වැඩිදුරටත් පැවසුවාය.

මොරටුව විශ්වවිද්‍යාලයේ නගර හා ග්‍රාම නිර්මාණය පිළිබඳ මූලික උපාධිය ලබා ඇති නදීෂා චන්ද්‍රසේන පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ජල සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා තිබෙන අතර වර්තමානයේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු සේවා බළකායේ අධිකාරීලත් නිලධාරිණියක් ලෙස සේවය කරයි.