ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කටාර් ගින්න: 'උෂ්ණත්වය අංශක 45යි, වායු සමීකරණ නෑ'

සිය ලැගුම්හලේ සිකුරාදා හටගත් ගින්නෙන් ඇඳි වත හැර තමන් සතු සියලු දේ විනාශ වූ බව පවසන කටාර් හි ශාහානියා (Shahaniyya) ප්‍රදේශයේ පිරිසිදු කිරීමේ කම්හලක සේවය කළ ශ්‍රී ලාංකිකයෝ, වන්දි ලබා දී හැකි ඉක්මනින් තමන් සිය රට ගෙන්වා ගන්නා මෙන් ආයාචනා කරති.

ගින්න හටගන්නා අවස්ථාවේ ශ්‍රී ලාංකිකයන් 350 ක් සහ නේපාල ජාතිකයන් 100 කට වැඩි පිරිසක් සිය ලැගුම්හලේ සිටි බවයි, ඔවුන් පවසන්නේ.

කැලෑ බද ප්‍රදේශයක එළිමහනේ දැන් තමන් ඇතුළු පිරිස තාවකාලිකව නවාතැන් ගෙන සිටින බව බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළ මොහමඩ් හනීෆ්, ඒ අවස්ථාවේ එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 45ක් බවද පැවසීය.

ගිනි ආරක්ෂණය

එහෙත් අධික අවු රශ්මියෙන් බේරීමට වායු සමීකරණ යන්ත්‍රයක් පවා කඳවුරේ නොමැති බවද ඔහු පැවසීය.

"මෙතන මූලිකවම ෆයර් සේෆ්ටි නෑ. අපිට කරන්ට් දෙන්නේ ජෙනරේටර් එකෙන්. ජෙනරේටර් එක ඕෆ් කරලා ඔන් කරද්දී ෂෝර්ට් වෙනවා," ඔහු පැවසීය.

තමන් පිරිස ගතව ගිය දින කිහිපය තුළ කුසගින්න සහ පිපාසය නිවා ගත්තේ කටාරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ලබා දුන් ආධාරවලින් බව කඳවුරේ සිටි කිහිපප දෙනෙක්ම සංදේශයට පැවසූහ.

ගින්න හටගෙන දින දෙකකට අධික කාලයක් ගත වී තිබුණත්, සිය හාම්පුතාගෙන් මේ දක්වා 'වතුර බෝතලයක්වත්' නොලැබුණු බව ඩීඑම් සෙනෙවිරත්න සංදේශයට පැවසීය.

"නිකම් අර සරණාගතයෝ වාගේ අපි, අපේ සම්පත් සියලු දේවල් අළු බවට පත්වුනා. ජීවිත බේරාගත්තේ හරිම අමාරුවෙන්," ඔහු සඳහන් කළේ තමන් මුහුණ දී සිටින ඉරණම බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ විස්තර කරමින්.

සරණාගතයෝ වගේ

ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු නිලධාරීන් එහි පැමිණි නමුත්, ඔවුන්ගෙන්ද තමන්ට නිසි පිළිසරණක් නොලැබුන බවත් ඩීඑම් සෙනෙවිරත්න පැවසීය.

සිය කම්හලට අයත් ලැගුම්හල්වල ගින්නක හටගත් තෙවැනි වතාව මෙය බවයි, මොහමඩ් රිෆ්කාන් කියා සිටියේ.

තමන්ට සිදු වූ අලාභයට වන්දි ගෙවා, අදාළ වේතනය සහ බෝනස් මුදල් ලබා දී, සේවකයන් පිරිස යළිත් ශ්‍රී ලංකාවට පිටත් කිරීම සිය ඉල්ලීම බව ඔවුහු පවසති.

"ඒගොල්ලෝ කියනවා අලාභේ ඇවිල්ල ඉන්ෂුවරන්ස්වලින් අරන් තමයිලු දෙන්නේ. අපිට ඇවිල්ල මේ කොම්පැනියෙ මේ වනතුරු ඉන්ෂුවරන්ස් එකකුත් නෑ, හෙල්ත් කාඩ් එකකුත් නෑ," මොහමඩ් රිෆ්කාන් පැවසීය.

ඔවුන් මුහුණ දී සිටින තත්වය පිළිබඳව විමසීම පිණිස කටාරයේ ශ්‍රී ලංකා තානාපති ජයන්ත පලිපාන ඇමතූ අවස්ථාවේ තානාපතිවරයා කාර්ය බහුල බවයි, සංදේශයට දැනගන්නට ලැබුනේ.

(ඡායාරූපය: නිවුස්ෆස්ට් නාලිකාව අනුග්‍රහයෙන්. අසරණව සිටින මේ පිරිසට ආධාර රැගෙන කඳවුරට ගොස් සිටියදී සංදේශය වෙත තොරතුරු ලබා දුන් ශ්‍රී ලාංකිකයන් පිරිසට අපේ ස්තුතිය)