සජින් වාස් මැයි 20 දක්වා රිමාන්ඩ්

Image copyright sajindevass.com
Image caption "ජනාධිපති කාර්යාලය සතුව තිබූ වාහන 20 ක ප්‍රමාණයක් ඔහු, ඔහුගේ පෞද්ගලික අරමුණු සඳහා යොදා ගෙන ඇති බවටයි, විමර්ශනයේදී කරුණු අනාවරණය වෙලා තියෙන්නේ"

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රජයේ වාහන අයුතු ලෙසින් පරිහරණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා මැයි 20 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණු බව පොලිසිය පවසයි.

රජයේ දේපොළ සාපරාධී, සාවද්‍ය ලෙසින් පරිහරණය කිරීමේ චෝදනාව මත පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලද බවයි, පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර බීබීසී සංදේශයට කියා සිටියේ.

"ජනාධිපති කාර්යාලය සතුව තිබූ වාහන 20 ක ප්‍රමාණයක් ඔහු, ඔහුගේ පෞද්ගලික අරමුණු සඳහා යොදා ගෙන ඇති බවටයි, විමර්ශනයේදී කරුණු අනාවරණය වෙලා තියෙන්නේ," ඔහු පැවසීය.

දේශපාලන පලිගැනීම් සඳහා පැරණි පාලනයේ සාමාජිකයන් අත්අඩංගුවට ගන්නා බවට එල්ල වන චෝදනා සහකාර පොලිස් අධිකාරිවරයා ප්‍රතික්ෂේප කළේය.

ක්‍රිස් නෝනිස්

පොදු ජන එක්සත් පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර, විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙසද ඔහු පත්කොට තිබුණි.

Image copyright AFP
Image caption අල්ලස් කොමිසම ඉදිරියේ පෙනී සිටීමට නියමිත බැවින් ලබන මැයි 20 වැනි පෙනී සිටින මෙන් පොලිසිය හිටපු ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී තිබේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ නිවුයෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවට සහභාගි වෙමින් සිටියදී, බ්‍රිතාන්‍යයේ එවකට ශ්‍රී ලංකා මහ කොමසාරිස් පදවිය හෙබැවූ දොස්තර ක්‍රිස් නෝනිස් ට පහර දුන් බවට ඔහුට චෝදනා එල්ල විය.

එහෙත් සජින් වාස් මන්ත්‍රීවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

මේ අතර මූල්‍ය අපචාර චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සඳුදා අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසම ඉදිරියේ සාක්ෂි දුන්නේය.

පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශයටද පැමිණෙන මෙන් ඔහුට මුලින් දැනුම්දීමක් කර තිබුණත්, අල්ලස් කොමිසම ඉදිරියේ පෙනී සිටීමට නියමිත බැවින් ලබන මැයි 20 වැනි පෙනී සිටින මෙන් පොලිසිය පසුව හිටපු ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී තිබුණි.

මීට වසර කිහියකට ඉහතදී ව්‍යාපාරිකයකුට මරණ තර්ජන එල්ල කිරීමේ චෝදනාව මත පළාත් සභා මන්ත්‍රී නවුෆර් ෆවුසි අත්අඩංගුවට ගන්නා මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

නවුසර් ෆවුසි පළාත් සභා මන්ත්‍රීවරයා, කැබිනට් අමාත්‍ය ඒඑච්එම් ෆවුසි ගේ පුත්‍රයාය.