ඉන්දීය ධීවරයන් 'සියලු දෙනා නිදහස්'

Image caption පසුගිය දෙසැම්බර් මාසයේ නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයන් පිරිසක්

ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් 37 දෙනා නිදහස් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිඥා දුන් බව ධීවර වෘත්තීය සමිති නායකයෝ පවසති.

ඉන්දු -ලංකා ධීවර සුභසාධක සම්මේලනයේ සභාපති එන් දේවදාස් ඇතුළු දූත පිරිසක් හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා එම ප්‍රතිඥාව දුන් බවයි, සම්මේලනයේ උපදේශක පී අන්තෝනි මුත්තු බීබීසී සංදේශයට කියා සිටියේ.

"නියෝගය නිකුත් කරලා තියෙනව. මම හිතන්නේ මේ සතියේ මේ 37 දෙනාම නිදහස් කිරීමට ඉඩ තිබෙනවා," ඔහු පැවසීය.

ජනාධිපතිවරයා හමුවීමට ප්‍රථම එම දූත පිරිස ධීවර අමාත්‍ය මහින්ද අමරවීර සහ හින්දු සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ඩීඑම් ස්වාමිනාදන් මුණ ගැසුණු බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ තීරණයට ප්‍රතිචාර වශයෙන් තමිල්නාඩුවේ අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලංකා ධීවරයන් 11 දෙනකු නිදහස් කරන මෙන් තමන් කළ ඉල්ලීමට තමිල්නාඩු ප්‍රාන්ත ධීවර අමාත්‍යංශයේ ලේකම් දොස්තර විජිල් කුමාර් ගෙන් යහපත් ප්‍රතිචාරයක් පළ වූ බවත් බලධාරීන් ප්‍රතිඥා දුන් බවත් පී අන්තෝනි මුත්තු සංදේශයට පැවසීය.

"මේ 11 දෙනා නිදහස් කිරීමට සුදුසු පියවර ගන්නා බව තමයි එතුමා සඳහන් කළේ," ඔහු වැඩිදුරටත් කියා සිටියේය.