කඩොලාන: ශ්‍රී ලංකාවෙන් ලොවට ආදර්ශයක්

Image copyright T.WEI

ශ්‍රී ලංකාව කඩොලාන වනාන්තර සම්පූර්ණ වශයෙන් ආරක්ෂා කරන පළමු රට බවට වීමට නියමිතයි.

පසුගිය ශතවර්ෂය තුළ දී පමණක් ලෝකය පුරා ඇති කොඩොලාන වනාන්තරවලින් අඩකට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබේ.

ලෝකය පුරා දැඩි තර්ජනයට ලක් වී ඇති වාසස්ථාන අතුරින් එකක් ලෙස කඩොලාන වනාන්තර සැලකේ.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ සහාය ඇතිව සිදු කිරීමට නියමිත කඩොලාන ආරක්ෂණ වැඩසටහනට නැවත වගාව, අවශ්‍ය පුහුණුව ලබා දීම සහ කුඩා පරිමාණයේ ණය ලබා දීමත් ඇතුළත්.

කඩොලාන වනාන්තර විශාල වශයෙන් ඇති අනෙකුත් රටවල් ශ්‍රී ලංකාව අනුගමනය කරමින් මෙවැනි ව්‍යාපෘති දියත් කරනු ඇති බවට පරිසරවේදීහු බලාපොරොත්තු පළ කරති.

‘කඩොලාන ජෛව පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා අත්වැල් බැඳ ගැනීම ආණ්ඩුවේ ආයතන, පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, පර්යේෂකයන්ගේ සහ සාමාන්‍ය ජනතවගේ වගකීමක් ’ වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රිපාල පවසා තිබේ.

ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘සීකොලොජි’ ආයතනය සහ ශ්‍රී ලංකාව පදනම් කර ගත ‘සුදීස’ සංවිධානයේ සහාය ඇතිව සංරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිතයි.