ගෝඨාභය අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ තහනම් නියෝගයක්

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේස්ටාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කොට තිබේ.

ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දුන් අධිකරණය පසුව මෙම තහනම් නියෝගය නිකුත් කළ බවයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියකු වන අජිත් ප්‍රසන්න කියා සිටියේ.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී සාමාජික විනිසුරු බුවනෙක අලුවිහාරේ තමා නඩු විභාගයෙන් ඉවත් බවන බව දැනුම් හෙයින් පෙත්සම ඊවා වනසුන්දර සහ සරත් ආබෘ යන විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගන්නා ලදී.

ගෝඨාභය රාජප්ක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් කියා සිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය අගමැතිවරයා ප්‍රධානත්වය දරන අනුකමිටුවක් මගින් යොමු කරන පැමිණිලි පමණක් විභාග කිරීම නිසා එහි දේශපාලන පක්ෂග්‍රාහී බවක් දක්නට ලැබෙන බවයි.

Image copyright AFP

එවැනි පොලිස් කණ්ඩායමක් ඉදිරියට යාම තුලින් තමා අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින නිසා අදාළ තහනම් නියෝගය නිකුත් කරන ලෙසයි පෙත්සමකාර ගෝඨාභය රාජපක්ෂ අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

එම තර්කය ප්‍රතික්ෂේප කළ රජයේ නීතිවේදියා රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව අදාළ පොලිස් ඒකකය ස්ථාපිත කර ඇති බවත් ඒ තුල කිසිදු දේශපාලන මැදිහත්වීමක් නොමැති බවයි කියා සිටියේ,

ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ඔක්තෝබර් මස 6 වැනිදා විභාගයට ගැනීමට අවසර දුන් අධිකරණය නඩු විභාගය අවසන් වන තෙක් අදාළ තහනම් නියෝගය බල පැවැත්වෙන බවයි කියා සිටියේ.