නීති විරෝධී ලෙස රඳවා සිටින අලි පැටවුන් 60 වැඩියි - පරිසර සංවිධාන

Image caption බේරා ගත් අලි පැටවෙක්

නීති විරෝධී ලෙස රඳවා ගෙන සිටි අලි පැටවුන් 60 දෙනකුට වැඩි බව තම අධ්‍යයන වලින් හෙළි වන බව පරිසර සංරක්ෂණ භාරය ප්‍රකාශ කරයි.

ප්‍රධාන වශයෙන් එම අලි පැටවුන් දිවයිනේ විවිධ වනාන්තරවලින් අල්ලා ගෙන රඳවා ගෙන සිටින බව පවසන පරිසර සංරක්ෂණ භාරයේ විධායක අධ්‍යක්ෂ සජීව චාමිකර, උඩවලව ඇත් අතුරු සෙවනේ රැකවරණ ලබා පුනරුත්ථාපනය කිරීමෙන් පසු මුදා හළ අලි පැටවුන් කිහිප දෙනෙකු ද මෙසේ අල්ලා ගෙන සිටින බව ප්‍රකාශ කළේය.

නීති විරෝධී ලෙස රඳවා ගෙන සිටි අලි පැටවුන් 15 දෙනකු පමණ මේ වන විට වන ජීවී දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බවට පළ වන වාර්තා ගැන අදහස් දැක්වූ ඔහු පැවසුවේ විවිධ පරිසර සංවිධාන කරන බලපෑම් සහ ලබා දී ඇති තොරතුරු මත එම අලි පැටවුන් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියා මාර්ග ගෙන ඇති බවයි.

Image copyright Environmental Foundation Ltd
Image caption ශ්‍රී ලංකාවේ නීති විරෝධී ලෙස රඳවා ගෙන සිටින අලි පැටවුන්ගේ සිද්ධීන් වැඩිවී තිබිණ

සැක සහිත ලෙස මිය ගොස් වල දමා ඇති බව සැලකෙන අලි පැටවුන් දෙදෙනකුගේ සිරුරු සොයා මහරගම ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක කැණීම් ආරම්භ කොට ඇත්තේත් ඒ පිළිබඳ පරිසර සංවිධාන විසින් කාලයක පටන් අදාළ අංශ දැනුවත් කිරීම හේතුවෙන් බවයි ඔහු පැවසුවේ.

පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන විහාරස්ථාන භූමියකද අලි පැටවුන් වල දමා ඇති බවට තොරතුරු ලැබී ඇති බව පරිසර සංරක්ෂණ භාරයේ විධායක අධ්‍යක්ෂ සජීව චාමිකර තවදුරටත් ප්‍රකාශ කළේය.