යුද සැමරුම - බෙදුම්වාදය පරාජය කිරීමේ ජයග්‍රහණයක් ලෙස

යුද්ධය අවසන් වීමට වසර හයක් සම්පූර්ණ වෙන මැයි 19 වැනි දින ‘බෙදුම්වාදය පරාජය කිරීමේ ජයග්‍රහණයක්’ හැටියට සැමරීමට රජය තීරණය කර ඇත.

බෙදුම්වාදයෙන් රට ගලවා ගැනීමට දිවි පිදූ එමෙන්ම ආබාධිත තත්වයට පත් ආරක්ෂක අංශවල සාමාජිකයන් එදින සමරන බවයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න පවසන්නේ.

අද (14)පැවැත්වුන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ රාජිත සේනාරත්න ඇමතිවරයා ශ්‍රී ලංකාවේ තවත් ජන කොටසක් යුද්ධයෙන් මියයාම යුද ජයග්‍රහණයක් ලෙස සැමරීමට රජය සුදානම් නොවන බවයි කියා සිටියේ.

අමාත්‍යවරයා එම අදහස පළකළේ ‘පසුගිය රජය මෙන් යුද්ධය අවසාන වීමේ සංවත්සරය යුද ජයග්‍රහණ සැමරුමක් ලෙස වර්තමාන ආණ්ඩුව ද පවත්වන්නේදැයි' බීබීසී කොළඹ වාර්තාකරු අශාම් අමීන් විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මාතර සමරුව

‘අපේ රටේම ජන කොට්ඨාශයක් මිය ගියාම අපට යුද ජයග්‍රහණ පවත්වන්න බැහැ. බෙදුම්වාදය පරාජය කිරීමේ ජයග්‍රහණයක් වශයෙන් හා ඊට දිවි දුන් රණවිරුවන් සැමරීමක් වශයෙනුත් එය සිදු කෙරෙනවා’ රාජිත සේනාරත්න ඇමතිවරයා පවසයි.

මෙවර සැමරුම 19 වන දින මාතර නගරයේ දී පැවැත්වෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Image caption උතුරේ යුද්ධයෙන් මියගියවුන් සැමරුමක්

උතුරු පළාතේ දේශපාලනඥයන් කණ්ඩායමක් කොටි සංවිධානයේ මිය ගිය සාමාජිකයන් සැමරීම පිළිබඳ ව මාධ්‍යවේදියෙක් කරුණු විමසූ විට අමාත්‍යවරයා කියා සිටියේ ‘එය යුද්ධයේ දී මියගිය අය සැමරීමක්’ වන බවයි.

අන්තවාදී සුළු කොටසක් හැරුණු කොට දෙමළ ජනතාව බහුතරයක් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරමින් අද එක මතයකට පැමිණ ඇති බව පැවසූ අමාත්‍ය රාජිත සේනාරත්න දෙමළ ඩයස්පෝරාව පවා අද නිහඬව සිටින තත්වයක් පෙනී යන බවයි පැවසුවේ.

සංහිඳියාවක් දෙසට

‘අවුරුදු ගණනාවකට පස්සේ ජාතික නිදහස සමරන්න දෙමළ ජාතික සන්ධානය පවා සහභාගී වුනා. ඔවුන් ජාතික ගීය සහ ජාතික කොඩිය පිළිගන්නවා. එවැනි තත්වයක් මින් පෙර තිබුණේ නැහැ’ කැබිනට් ප්‍රකාශක සෞඛ්‍යය ඇමතිවරයා පෙන්වාදෙයි.

අද ඔවුන් සියළු දෙනාම ශ්‍රී ලාංකිකයන් ලෙස කටයුතු කරන තත්වයක් ඇතිවී ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.