ශෂි වීරවංශ යළිත් උසාවියේ

Image copyright sri lanka mirror
Image caption ශෂි වීරවංශ

හිටපු ඇමති විමල් වීරවංශ ගේ බිරිඳ ශෂී වීරවංශට අයත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත ව්‍යාජ ඒවා වන බව ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණ පරීක්ෂණවල දී තහවුරු වී ඇති බව රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (15) කියා සිටියේය.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගත් බවට චෝදනා කරමින් ශෂී වීරවංශට එරෙහිව ගොනු කළ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේයි රහස් පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉහත කී දැනුම් දීම කළේ.

තමන් සිදු කළ මූලික පරීක්ෂණවල දී එම තත්වය අනාවරණය වූ බව දැනුම් දුන් රහස් පොලිසිය ඊට අදාළ මුල් ලේඛන සොයා ගෙන ඇති බවත් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කියා සිටියේය .

එම අවස්ථාවේ හිටපු ඇමති විමල් විරවංශ ද අධිකරණයට පැමිණ සිටි අතර ඔහු ඉහත නඩුකරය සම්බන්ධයෙන් අදහස් පළ කිරීමෙන් වැළකුණි.

‘මගේ බිරිඳට එරෙහිව පවරා ඇති නඩුවකට අපි අද පෙනී සිටියා. එය සැප්තැම්බර් මස 11 වෙනි දිනට කල් තැබුණා’ හිටපු ඇමතිවරයා ප්‍රකාශ කළේය.

විමලගෙනුත් ප්‍රකාශයක්

මේ අතර රහස් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ ඉහත කී සාපරාධී ක්‍රියාව සම්බන්ධයෙන් හිටපු ඇමති විමල් විරවංශගෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව පැමිණිල්ල ලබන සැප්තැම්බර් මස 11 වෙනි දින කැඳවීමට නියම කල අධිකරණය එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් රහස් පොලිසියට නියම කළේය.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගත් බවට සැක පිට අත් අඩංගුවට ගත් ශෂී විරවංශ අධිකරණය මගින් ඇප මත මුදා හරිනු ලැබයි සිටින්නේ.