‘උපාධිධරයන්ට රැකියා දීම ආණ්ඩුවේ ප්‍රමුඛතාවයක්’- අධ්‍යාපන ඇමති

Image copyright akila wiraj
Image caption අධ්‍යාපන ඇමති වරයා ජනාධිපතිවරයා සමඟ මහජන හමුවක දී.

විසි දහසකට අධික රැකියා විරහිත උපාධිධරයන්ගේ ගැටළු විසඳීමට ඉක්මනින් පියවර ගන්නා බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පවසයි.

ඇමතිවරයා එම ප්‍රකාශය කළේ රැකියා විරහිත උපාධිධරයන්ගේ මධ්‍යස්ථානය මගින් දියත් කිරීමට යන වීදි විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් බීබීසී සංදේශය ආණ්ඩුවේ ප්‍රතිචාරය පිළිබඳව විමසීමේ දී.

එම සංවිධානයේ කණ්ඩායමක් පසුගිය දා බස්නාහිර පළාත් සභාවේ මහ ඇමතිවරයාගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් ගෙන ගිය අතර පොලිසිය විසින් එය විසුරුවා හරිමින් කීප දෙනකු අත්අඩංගුවට ගනු ලැබුණි.

ඒ පිළිබඳව ප්‍රශ්න කළ විට අධ්‍යාපන ඇමතිවරයා සඳහන් කළේ එවැනි පියවර ගැනීම ආණ්ඩුවේ පිළිවෙත නොවන අතර ප්‍රශ්නයට විසඳුම් දීමට කටයුතු කරන බවයි.

‘උද්ඝෝෂණය කරන උපාධිධරයන්ට ජල පහර එල්ල කිරීම හෝ කඳුළු ගෑස් ගැසීම ආණ්ඩුවේ පිළිවෙත නොවෙයි. එවැන්නක් අපට අවශ්‍ය නැහැ.අපේ අරමුණ ප්‍රශ්නයට විසඳුම් දීමයි’ ඇමතිවරයා කියා සිටියේය.

අගමැති සමඟ සාකච්ඡා

මෙම ප්‍රශ්නය පිළිබඳව ඉදිරි දිනවල අගමැතිවරයා සමඟ සාකච්ඡා කරන බවත් අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කළේය.

උද්ඝෝෂණය කරන රැකියා විරහිත උපාධිධරයන්ට මුණ ගැසීමට ඇමතිවරයා පියවර ගනු ලබන්නේදැයි විමසු විට ඔහු කියා සිටියේ එය තනිවම ගනු ලබන තීන්දුවක් නොව රජය සමඟ සාකච්ඡා කොට තීරණයක් ගන්නා බවයි.

වත්මන් ආණ්ඩුව දින සීයේ ප්‍රතිඥා පිළිවෙලින් ඉටු කිරීමට පියවර ගත් ආකාරයට රැකියා විරහිත උපාධිධාරයන්ගේ ප්‍රශ්නය විසඳීමටත් කටයුතු කරන බවයි අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේ.