මුලතිව් පොලිස් බල ප්‍රදේශයේ යුද සමරු තහනම්

Image caption උතුරේ යුද සැමරුමක්

මුලතිව් පොලිස් බල ප්‍රදේශය තුළ යුද සමරු වැඩසටහන් පැවැත්වීමට එරෙහිව අධිකරණ විසින් තහනම් නියෝගයක් පනවා තිබේ.

මුලතිවු පොලීසිය ප්‍රකාශ කළේ පොලීසිය අධිකරණයෙන් කරණ ලද ඉල්ලීමක් සැලකිල්ලට ගැනීමෙන් පසුව අධිකරණය විසින් මෙම තීන්දුව දුන් බවයි.

මැයි මස 16 වෙනිදා සිට දින 14 ක කාලයක් මුලතිවු පොලිස් බල ප්‍රදේශය තුළ මහජන සාමයට බාධා එල්ල වන අන්දමේ කිසිදු ආකාරයක එල්.ටී.ටී.සැමරැම් උත්සව පැවැත්වීම මුලතිවු දිසා විනිසුරු එම්.එච්.ඩී.එන්.සම්සුදීන් විසින් තහනම් කොට තිබේ.

මේ අනුව, මැයි මස 18 වෙනිදා මුලතිවු මුල්ලිවයික්කාල් පළාතේදී දෙමළ ජනතාව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ පෙළපාලිය සහ එල්.ටී.ටී.ඊ.සමරු උත්සවය පැවැත්වීමට ඉඩක් නැතැයිද මුලතිවු පොලීසිය කියා සිටියේය.

නමුත් උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් පසුගිය 12 වෙනිදා මුලතිවු මුල්ලිවයික්කාල් පළාතේදී යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් ඇතුලු සියලු දෙනා සැමරීමට උත්සවයක් සංවිධාන කොට තිබිණ.

යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමට දෙමළ ජනතාවට සැමරුම් සතියක් 12 වෙනිදා සිට ප්‍රකාශයට පත් කොට ඇති බවද ඔහු මෙහිදී පැවසුවේය.

ඊට අමතරව මැයි මස 18 වෙනිදා මුලු ලෝකයේම දෙමළ ජනතාව යුද්ධයේදී මියගිය පිරිස සමරණ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

මුලතිවු දිස්ත්‍රික්කයේ එල්.ටී.ටී.ඊ.සැමරුම් අධිකරණ නියෝගය මත තහනම් කොට ඇතත් උතුරු නැගෙනහිර පළාත්වල සෙසු උත්සව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයකට එළඹී නොමැත.