ජනපති මෛත්‍රීට ශ්‍රීලනිපයෙන් අනතුරු හැඟවීමක්

කාලය ඉකුත් වූ පළාත් පාලන ආයතන සඳහා වහාම මැතිවරණ පවත්වන මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

ඉහත කී පළාත් පාලන ආයතනවලට කොමසාරිස්වරුන් පත් නොකොට මැතිවරණයක් පවත්වා ජනතා නියෝජිතයන් තෝරා ගැනීමට මහජනතාවට අවස්ථාව ලබා දෙන මෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කළ බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා කියා සිටියේ.

‘ඒ සම්බන්ධයෙන් එතුමාගේ ප්‍රතිචාරය අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ ප්‍රතිචාරය යහපත් නොවුනොත් ඒ සම්බන්ධයෙන් ඊට එහාට යන්නා වූ ක්‍රියා මාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම්’ අමාත්‍යවරයා පැවසුවේය.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම අගමැති රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාවය මත සිදුවන්නක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශක ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා සඳහන් කළේය.

'අලුත් ජනාධිපතිවරයෙක්'

මේ අතර පළාත් පාලන ආයතනවල කාලය මීට ඉහතදී මාසයකින් දීර්ඝ කළ පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, මහ මැතිවරණයෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණ පවත්වන බව පසුගියදා කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට ජනාධිපතිවරයාට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයාගේ සම්බන්ධීකාරක ලේකම් ශිරාල් ලක්තිලක සංදේශයට පැවසුවේය.

‘ඩිලාන් පෙරේරා මහත්මයට සිහි වෙන්නේ හැම තිස්සෙම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති බලතල අයුතු ලෙස භාවිතා කිරීම පිළිබඳ පූර්වාදර්ශයන්. ඔහු විශ්වාස කරනවා ජනාධිපතිවරයාට ඕනෑම දෙයක් කළ හැකියි කියලා. දැන් ඉන්නේ අලුත් ජනාධිපතිවරයෙක්. ඔහු වැඩ කළ යුත්තේ නීතියේ රාමුව ඇතුළේ. ඊට පිටතින් නෙමෙයි’ඔහු කියා සිටියේය.