ජගත් ඩයස්: ආණ්ඩුවේ ප්‍රතිඥා ගැන 'සැකයි'

Image caption යුද්ධයේ අවසාන භාගයේදී මේජර් ජනරාල් ජගත් ඩයස් 57 වැනි සේනාංකයේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළේය

යුද්ධයේ අවසාන භාගයේදී බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සිදු කළ බවට චෝදනා ලබා සිටින 57 වැනි සේනාංකයට නායකත්වය දුන් මේජර් ජනරාල් ජගත් ඩයස් ශ්‍රී ලංකා යුද හමුදාවේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙසින් පත් කිරීම හියුමන් රයිට්ස් වොච් සංවිධානය දැඩි දෝෂදර්ශනයට ලක් කරයි.

විශේෂයෙන්ම මේ පත්වීම හේතුවෙන් යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විශ්වසනීය පරීක්ෂණයක් පවත්වන බවට ආණ්ඩුව ලබා දී තිබෙන ප්‍රතිඥා පිළිබඳව සැක සංකා මතුවන බවයි, එම සංවිධානය පවසන්නේ.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ප්‍රබල අන්තර්ජාතික දායකත්වයක් සහිතව ඵලදායී විමර්ශනයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කළ යුතු බවද හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

'හමුදාවෙන් භාගයක්'

කෙසේ නමුත් යුද හමුදාපතිවරයාගේ සිට ජ්‍යෙෂ්ඨත්වයෙන් 25 වැනි ස්ථානය පමණ දක්වා යුද හමුදාවේ සියලුම නිලධාරීන් යුද්ධයට සම්බන්ධ වූවන් බවයි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ සම්බන්ධීකාරක ලේකම් ශිරාල් ලක්තිලක බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළේ.

"යුද්ධයට සම්බන්ධ වෙච්ච, චෝදනා ලැබූ පුද්ගලයන්ට හමුදාවේ උසස්වීම් දෙන්න එපා කියනවා නම් මම හිතන්නේ හමුදාවෙන් භාගයක් විතර ඉවත් කළ යුතුව තියෙනව," ඔහු පැවසීය.

දැනට යුද හමුදාවේ බොහෝ ඉහල තනතුරු හොබවන්නේ සහායක සේනාවල නිලධාරීන් විසින් බැවින්, පාබල හමුදාවේ නිලධාරියකු පත්කිරීමේ අවශ්‍යතාවය සලකා බලා ජනාධිපතිවරයා විසින් මේජර් ජනරාල් ජගත් ඩයස් එම තනතුරට පත් කළ බවද ශිරාල් ලක්තිලක පැවසීය.

"ඔවුන්ට චෝදනා තියෙනව නම් ඒ චෝදනා ගැන නීතිමය ක්‍රියාමාර්ගවලට යාමේ හැකියාව තියෙනවා."

හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ නිවේදනය පිළිබඳව ප්‍රතිචාරය ලබා ගැනීම පිණිස ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන සහ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.