යාපනයේ සිසුවිය ඝාතනය: ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයේ

Image caption සිසුවියගේ අවමගුල් උත්සවයට විශාල පිරිසක් එක් වී සිටියහ

දහ නම හැවිරිදි පාසල් සිසුවියක දූෂණය කොට ඝාතනය කිරීම සම්බන්ධ සැකකරුවන් තමන්ට භාර දෙන මෙන් පොලිසියට බල කරමින් යාපනයේ, පුන්ගුඩුතිවු ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක නිරතව සිටියහ.

තවත් සැකකරුවන් පස් දෙනකු ඉරිදා කුරිකට්ටුවාන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි, ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරතව සිටියේ.

පොලිසිය ඉදිරිපස පැවති නොසන්සුන් තත්වය සන්සුන් කිරීම පිණිස අතිරේක පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පිටත් කොට තිබේ.

විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් ද එම ස්ථානයට ගොස් සිටියහ.

පාසල් නිල ඇඳුම පිටින් මරා දමා තිබුණු සිසුවියගේ මළසිරුර පසුගිය බදාදා අසල වූ කැලෑවකින් හමුවිය.

මීට ඉහතදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනකු ලබන 28 වෙනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන මෙන් අධිකරණය නියෝග කළේය.

සිසුවියගේ ඝාතනය උතුරු පළාතේ ප්‍රබල ආන්දෝලනයට ලක්විය.