ගෝඨාභය තීන්දුව: තවත් විභාගයක්?

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීම සඳහා රජය පියවර ගනිමින් ඇත.

අදාල වැඩිදුර නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ සහ මුල් පෙළේ නීතිවේදීන් අතර සාකච්ඡාවක් ආරම්භ වීමට නියමිතයි.

තමා අත්අඩංගුවට ගනු ලැබීම අත්හිටවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටිමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම සැලකිල්ලට ගත් ද්වි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය ලබන ඔක්තොබර් මාසය තෙක් බල පැවැත්වෙන මට්ටමින් අත්අඩංගුවට ගැනීම වළක්වා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

විනිශ්චයකරුවන් දෙදෙනකුට මෙවැනි තීන්දුවක් ලබා දීමට නීත්‍යනුකූල බලයක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කළේය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ අතුරු නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවයි අගමැතිවරයා කියා සිටියේ.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමය පවසන්නේ එම පෙත්සම විභාග කළ ආකාරය මතභේදයට ලක් වී තිබෙන බවයි.

'අධිකරණය කෙරෙහි විශ්වාසය බිඳ වැටීමක්'

මෙම තීන්දුව මගින් සිදු වන්නේ 'යළිත් වරක් අධිකරණය පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටීමක්' බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමයේ නීතිඥ ලාල් විජේනායක සංදේශයට කියා සිටියේය.

‘නඩු තීන්දුව දීමේදී, මොකද ශ්‍රේෂ්ඨාධිකරණය ඉහළම අධිකරණය නිසා එතනින් එහාට අභියාචනයක් ඉදිරිපත් කරන්නවත් තැනක් නැහැ. ඒ වගේ නඩු තීන්දුවක් දීමේදී අවශ්‍ය අධිකරණ බලය තියනවද කියලා සලකා බැලිය යුතුව තිබෙනවා. දෙවනුව එම නඩුව ඇසීමේදී හා තීරණය කිරීමේදී පිළිගත්තා නීත්‍යනුකූල ක්‍රියා පටිපාටිය අනුව කටයුතු කර තිබෙන්න ඕනි’ නීතිඥ ලාල් විජේනායක පැවසුවේය.

ද්විපුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ හැක්කේ හදිසි අවස්ථාවකදී පමණක් බවත් නීතිඥවරයා සඳහන් කළේය.

‘තුන් දෙනෙක් තමයි දෙන්න ඕනි. මේක හදිසි කාරණයක් කියන්න හේතුවක් දක්වලත් නැහැ. විනිශ්චයකාර මණ්ඩලයට පත් කරලා තිබුණේ විනිශ්චයකාරවරු තුන් දෙනෙක්. එක් විනිශ්චයකාරතුමෙක් යම් හේතුවක් නිසා එම නඩුව විමසන්න අකමැත්ත ප්‍රකාශ කළා’ ඔහු පැවසීය.

එම ඉවත් වූ විනිශ්චයකාරවරයා වෙනුවට වෙනත් විනිශ්චයකාරවරයෙක් පත් කිරීමට අගවිනිසුරුවරයාට හැකියාව ඇති බවයි නීතිඥ ලාල් විජේනායක කියා සිටියේ.

‘ඇත්ත වශයෙන් මේකට දැන් හැම එක්කෙනෙක්ම යනවා. අල්ලස් චෝදනාවලට කැඳවන හැම පුද්ගලයෙක්ම අධිකරණය ඉදිරියට යනවා. ගිහිල්ලා තහනම් නියෝග ඉල්ලනවා. මේ නඩුව දාලා තියනවා ඔක්තෝබර් මාසෙට. තවත් ඒ නඩු ගිහාම ඒ පරීක්ෂණ අඩපණ වෙනවා. අපේ ප්‍රශ්නේ හොරු ටික කොහොමද ගේන්නේ කියලා නීතිය ඉදිරියට ’ ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර