රංගන හේරත් ක්‍රිකට් ආයතනය ගැන කනස්සල්ලෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට චෝදනා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිය විරෝධය පළ කර ඇති බව බීබීසියට වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක් එක් ක්‍රීඩකයන්ට විවිධ ආකාරයට සලකන බවටයි රංගන හේරත් කනස්සල්ල පළ කර තිබෙන්නේ.

බීබීසි කොළඹ වාර්තාකරු අශාම් අමීන් ඉහත කී වාර්තා සම්බන්ධයෙන් රංගන හේරත්ගෙන් විමසීමක් කළ විට ඔහු පැවසුවේ, දිගින් දිගටම ක්‍රීඩකයන්ට වෙනස් මට්ටමින් සැලකීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තම කනස්සල්ල පළ කළ බවයි.

ලෝක කුසලාන තරඟාවලියට පෙර පැවති නවසීලන්ත සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට පැමිණි රංගන හේරත් ඇතුළු ක්‍රීඩකයන් සඳහා ගුවන් ටිකට් බලපත් ලබා දීමේ දී ඇතැම් ක්‍රීඩකයන්ට පමණක් ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට් ලබා දීම මෙම විරෝධය පෑමට ආසන්න හේතුව ලෙසයි වාර්තා වන්නේ.

ඇතැමුන්ට ව්‍යාපාරික පන්තිය

Image copyright AFP

‘මේක මුදල් ප්‍රශ්නයක් නොවෙයි. අදාළ මුදල මම ගෙව්වා. එය එක සිද්ධියක් විතරයි, මීට කලිනුත් මේ ආකාරයට එක් එක් ක්‍රීඩකයන්ට වෙනස් මට්ටමින් සලකල තියෙනවා. හැම දෙනාටම එක විධියකට සලකන්න අවශ්‍යයි. එවැන්නක් නොවීම සම්බන්ධයෙන් මම මගේ කනස්සල්ල ක්‍රිකට් ආයතනයට පළ කළා’ රංගන හේරත් පවසයි.

රංගන හේරත් පළ කරන විරෝධය සම්බන්ධයෙන් විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සම්බන්ධ කර ගැනීමට බීබීසිය ගත් උත්සාහය අසාර්ථක වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ විට ඔවුන් කියා සිටියේ ඉහත කී ආකාරයේ සිදුවීමක් තමන්ට වාර්තා වී නොමැති බවයි.