ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජයග්‍රහණය සැමරීමෙන් කාගෙවත් හිත රිදෙන්නේ නැහැ - මහින්ද

යුධ ජයග්‍රහණය අමතක කර වීමට ඇතැම් පිරිසකට අවශ්‍ය වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ඒ බව කියා සිටියේ 'දිනූ මව්බිම රැක ගනිමු' මැයෙන් සඳුදා කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ පැවති යුධ සැමරුම් රැළියක් අමතමින්.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති යුද සැමරුම් රැළියට ආබාධිත රණවිරුවන්, කලාකරුවන් ඇතුළු විපක්ෂයේ දේශපාලනඥයෝ රැසක් එක් වී සිටියහ.

‘මේ වීර දූ පුතුන් මෙතරම් ඉක්මනට අමතක කරන්න පුළුවන් වීම ගැන රජය ලැජ්ජා වෙන්නේ ඕනේ. අවසාන සටනේ ඔවුන් ජීවිත දුන්නේ මේ රටේ යළි බෙදුම්වාදී කොඩිය ඔසවනවා දකින්න නෙවෙයි’ හිටපු ජනපතිවරයා පැවසීය.

තමා සමග ඇති වෛරය නිසා, දිනා දුන් ජයග්‍රහණය රටට අහිමි නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

යුධ සමයේ ජීවිතක්ෂයට පත් වූ ආරක්ෂක අංශ සෙබළුන් සිහි කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස පහන් දැල්වූහ.

යුධ සැමරුම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙන්ම යුධ සමයේ නාවික හමුදාපති ධුරය දැරූ අද්මිරාල් වසන්ත කරන්ණාගොඩද එක් වී සිටියේය.