ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බිඳුණු සිත් යළි ගොඩනැගීම අවශ්‍යයි - ජනපති

යුධ සමයේ කැඩී බිඳී විනාශ වී ගිය භෞතික සම්පත් යළි ගොඩනැගීමට හැකි නමුත් බිඳුණු සිත් යළි ගොඩ නගා ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

මාතර නගරයේ සංවිධානය කළ රණවිරු සැමරුම් ජාතික උත්සවය අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ ශ්‍රී ලංකාව තුළ නැවත යුද්ධයක් ඇති නොවීමේ වගකීම සිය රජය පැහැදිලි ලෙස භාර ගන්නා බවයි.

එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමට කැප වූ සියලු ආරක්ෂක අංශ සාමාජිකයන් අනුස්මරණය කිරීම පිණිස මෙම රණවිරු සැමරුම සංවිධානය කර තිබුණි.

'සංවර්ධනය සහ සංහිඳියාව'

උත්සවය ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ සංවර්ධනය තුළීන් පමණක් සංහිඳියාව පිළිබඳ වූ පරමාර්ථ ඉටු කර ගත නොහැකි බවයි.

‘අපි නව රජය ලෙස පැහැදිලිව කියන්න ඕනේ, අපේ ප්‍රතිපත්තිය වන්නේ සංවර්ධනය සහ සංහිඳියාවයි. භෞතික සංවර්ධනය තුළ ජාතීන්ගේ සංහිඳියා පිළිවෙතක් සම්බන්ධයෙන් ප්‍රමුත්වය ලැබුණේ නැහැ’ ජනාධිපතිවරයා පැවසීය.

සංහිඳියා පිළිවෙතක් තුළ සත්‍ය ගවේෂණය, යුක්තිය ඉටු කිරීම, සියලු ජාතීන් අතර බිය සැක අවිශ්වාස නැති කිරීම වැනි කාරණා ඉටු කළ යුතු බව පැවසූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැඩිදුරටත් කියා සිටියේ යුද්ධයේ අත්දැකීම් සමග විශේෂයෙන්ම සංහිඳියා වැඩපිළිවෙළක තිබෙන්නා වූ ප්‍රමුඛතාවය තේරුම් ගැනීමට අවශ්‍ය වන බවයි.