'මුල්‍ය අපරාධ කොට්ඨාශය අහෝසි කරන්නේ නැහැ' - ජනාධිපති

Image caption පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන බවක් පෙනී නො යන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය අහෝසි කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු පොරොන්දුවක් ලබාදී නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද උදැසන මාධ්‍ය ප්‍රධානින් හමුවූ අවස්ථාවේදී.

අද උදැසන ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා හා මාධ්‍ය ප්‍රධානින් අතර පැවති හමුවේ දී මාධ්‍ය ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයාට ප්‍රශ්න ගණනාවක්ම යොමු කරනු ලැබිණි.

'තීරණයක් ගෙන නැහැ'

මේ දිනවල ජනාධිපතිවරයා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැඩි විරෝධතාවකට පාත්‍ර වී තිබෙන පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පිළිබඳව ජනාධිපතිවරයාගෙන් විමසීමේ දී ඔහු පැවසුවේ එය අහෝසි කිරිම සදහා කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

එම අංශය දේශපාලනික වශයෙන් පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන බවට තමාට විධිමත් ලෙස කවුරුන් හෝ පැමිණිලි කරනු ලැබුව හොත් ඒ පිළිබඳ සොයා බලන බව පැවසූ ජනාධිපතිවරයා දැනට එලෙස ක්‍රියා කරන බවක් පෙනී නො යන බැවින් ගැටළුවක් නොමැති බවයි ප්‍රකාශ කළේ.

මෙහිදී මාධ්‍ය ප්‍රධානියෙකු පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ කවදා දැයි ජනාධිපතිවරයාගෙන් විමසූ විට එයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පැවසුවේ සැප්තැම්බරය වන විට ශ්‍රී ලංකාවේ අළුත් පාර්ලිමේන්තුවක් ස්ථාපිත වනු ඇති බවයි

"පාර්ලිමේන්තුව විසුරුවන්න පෙර අපිට කරුණු කිහිපයක් මේ පාර්ලිමේන්තුව තුලින් කර ගන්න තියෙනවා, ව්‍යවස්ථා සභාව පිහිටෙව්වේ නැහැ තව, නව මැතිවරණ ක්‍රමය ගැන තීරණයක් ගන්නත් ඕනේ" යනුවෙන් ඔහු පැවසීය.

මැතිවරණ ක්‍රමය

ඉදිරි මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ පවත්වන්නේ ද යන්න තාමත් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව බව පැවසූ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා මෙම සතිය තුළ පැවැත්වෙන බවයි පැවසුවේ.

"මනාප ජන්ද ක්‍රමය අහෝසි කල යුතු බව පවසන පොදු මතයේ පාර්ලිමේන්තුවේ සියළු දෙනා සිටිනවා, නමුත් ඒකෙන් බහුතරයක් ඉල්ලන්නේ දැන් පවතින ක්‍රමයට ම මේ සැරේ ඡන්දේ තියන්න කියලයි" යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවට එල්ලවී ඇති මානව හිමිකම් චෝදනා පිළිබඳව විමර්ශන දේශීය වශයෙන් සිදුවිය යුත්තක් ය යන්න තම මතය බව මාධ්‍ය ප්‍රධානියෙකු යොමු කල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

විල්පත්තුව

දේශීය විමර්ශනයක් සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ජුනි මාසය වන විට අරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ ඔහු මේ දිනවල දැඩි ආන්දෝලනයකට ලක් ව ඇති විල්පත්තුව වනෝද්‍යානය අසල ප්‍රදේශයේ සිදු වන නැවත පදිංචි කිරීම් ගැන ද අදහස දැක්වීය.

අවතැන්වූ ජනතාවට ඉඩම ලබා දීමේ දී වනාන්තර විනාශ නො කර ඔවුන්ට වෙනත් ඉඩම් ලබාදීමට තම අවධානය යොමු වී ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ

වර්තමානයේ සිදු වී ඇති වන විනාශය ගැන පරීක්ෂණයක් පවත්වන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර