කටාරයේ සංක්‍රමනික කම්කරුවන් කෙරෙහි ඇම්නෙස්ටියේ අවධානය

Image copyright Getty

සිය රටේ රැකියා කරන විදේශීය කම්කරුවන්ගේ සේවා පහසුකම් සම්බන්ධයෙන් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය ඉදිරිපත් කරන වාර්තාවක් කටාර් රාජ්‍යයේ බලධාරීන් විසින් බැහැර කරනු ලැබ ඇත.

2022 වසරේ ලෝක පාපන්දු ශූරතා තරඟාවලියේ සත්කාරක රට වන කටාරය විදේශීය ශ්‍රමිකයන්ගේ සේවා තත්වයන් නංවා ලන බවට මෙයින් වසරකට පෙර ප්‍රතිඥාවක් දී ඇතත් ඒ අතින් ප්‍රගතියක් ලබා නොමැති බවයි ඇම්නෙස්ටි මානව හිමිකම් සංවිධානය පෙන්වා දෙන්නේ.

එම සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ වැටුප් අංශයේ ප්‍රතිසංස්කරණ අතින් ද ඉතා මන්දගාමී තත්වයක පවතින බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ තක්සේරුවයි.

ලෝක පාපන්දු ශූරතා තරඟාවලිය සඳහා සූදානම් කෙරෙමින් පවතින ක්‍රීඩාංගණ වල ඉදිකිරීම් කටයුතු සඳහා කටාරය සංක්‍රමණික ශ්‍රමිකයන් යොදා ගනු ලැබෙමින් ඇති අතර ඇම්නෙස්ටි ජාත්‍යන්තරය ඔවුන්ගේ සේවා තත්ත්වයන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් ම අවධානය යොමු කරමිනුයි පසු වන්නේ.

එවැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක් පෙරට යමින් ඇතත් හාමුතුන්ට සිය සේවකයන් වසර පහක කාලයකට බැඳ තබා ගත හැකි අතරම සේවකයකු එරටින් පිටව යාමට කරන ඉල්ලීමකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ බලය තවමත් හාම්පුතුන් සතු වන බව විවේචකයෝ පෙන්වාදෙති.

ආණ්ඩුවේ ප්‍රතිචාරය

Image copyright AFP
Image caption කටාරයේ රැකියා අකරණ සංක්‍රමණික කම්කරුවන්

මේ අතර ,කටාර් බලධාරීන් පවසන්නේ, කම්කරු වැටුප් නියමිත වේලාවට ගෙවීම සඳහා මේ වන විට විද්‍යුත් මට්ටමින් වේතන ගෙවීම් රටාවක් ආරම්භ කරනු ලැබ ඇති බවයි.

එහෙත් වේතන සහතික කෙරෙන වැඩ පිළිවෙලක් හැරුන විට නව කම්කරු නීතියක් කටාරයේ ක්‍රියාත්මක නොවෙන බවයි ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ තක්සේරුව වෙන්නේ.

මතු වී ඇති විවේචන සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන කටාර් කම්කරු ඇමති අබ්දුල්ලා අල් කුලෛෆි මේ වසරේ අවසානය වන විට රටේ දැනට බල පැවැත්වෙන කම්කරු නීතියේ වෙනසක් සිදු වීම 90% කින් සහතික බවයි කියා සිටියේ.

එම සංක්‍රමණික කම්කරුවන් ඔවුන්ගේ මව් රටවල දී ලබන වේතනයට වඩා සැලකිය යුතු වැටුපක් කටාරයේ දී උපයන බවත් එරට බලධාරීහු පවසති.

සංක්‍රමණික කම්කරුවන් විසින් 2014 වසර ඇතුළත ඩොලර් කෝටි 1200 කට අධික මුදලක් ඔවුන්ගේ මව් රටවල ආර්ථිකයට එක කරනු ලැබ ඇති බවත් කටාර් බලධාරීහු පවසති.