අගමැති විවේචනයට බාධාවක් නෑ - ඇමති අමරවීර

Image copyright Mahinda Amaraweera

අද බ්‍රහස්පතින්දා ඉල්ලා අස්වූ ඇමතිවරුන් කරන ප්‍රකාශ වලට ප්‍රතිචාර දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මහින්ද අමරවීර ඇමතිවරයා පවසන්නේ ජාතික ආණ්ඩුවක් ලෙස රජය තවමත් ක්‍රියාත්මක වන බවට ගැටලුවක් නැති බවයි.

“ජාතික ආණ්ඩු සංකල්පය ක්‍රියාත්මක වෙනවා. එහෙම නොවන අවස්ථාවලදී අපි ඒකට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා”

එක්සත් ජාතික පක්ෂ රජය සමඟ ගැටළු පවතින බව පිළිගන්නා ඔහු අස්වූ ඇමතිවරුන්ට ඒ සඳහා විවිධ හේතු බලපාන්නට ඇති බව පැවසුවේය.

පළාත් පාලන මැතිවරණ කල් දැමීම සිදු නොකිරීම සම්බන්ධයෙන් සහ ඊළඟ මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට තමන්ට වැඩි ශක්තියක් ලැබේය යන විශ්වාසය මත ඔවුන් ඉල්ලා අස්වීමට ගත් තීන්දුවක් ලෙසයි ඇමතිවරයා එය විග්‍රහ කළේ.

ඉල්ලා අස්වූ ඇමතිවරුන් අගමැතිවරයාට චෝදනා එල්ල කරන බව පෙන්වා දුන් විට මහින්ද අමරවීර ඇමතිවරයා පැවසුවේ රජයේ අමාත්‍යධුර දැරුවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැරදි ක්‍රියාවන් සිදු කරන්නේ නම් විවේචනය කිරීමට බාධාවක් නැති බවයි.

විවේචන

එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් විසින් සිදු කරන වංචා දූෂණ හෝ වෙනත් ක්‍රියාකාරකම් පිළිබඳ තමන්ටත් විවේචන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මහා බැංකු අධිපතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවකට අනිවාර්යයෙන් සහයෝගය පල කරන බව පැවසූ ඔහු පැවසුවේ මහ බැංකු අධිපතිවරයා සම්බන්ධ මූල්‍ය වංචා ගැන ජනතාව දැනුවත් කරන බවයි. එම පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත ගෙන ගියේ තමන් බවත් අමරවීර ඇමතිවරයා පැවසුවේය.

රජයේ අමාත්‍ය ධූර බාර ගන්නා ලද්දේ ප්‍රධාන කරුණු දෙකක් මුල් කර ගෙන බව සඳහන් කළ ඔහු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම ඉන් එකක් බවත් එය ලැබූ ඉහළම ජයග්‍රහණයක් බවත් පැවසුවේය.

දෙවැනි පරමාර්ථය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් නව මැතිවරණ ක්‍රමයක් ඇති කර ගැනීම බවත් මහින්ද සමරවීර ඇමතිවරයා සඳහන් කළේය.