ආසියානු ඔලිම්පික් තරඟාවලිය හම්බන්තොටට අහිමි වෙයි

Image copyright Getty Images
Image caption හම්බන්තොට ක්‍රීඩා සැණකෙලියක රැඟුමක්

2017 වසරේ ආසියානු ඔලිම්පික් ශූරතා තරඟාවලියේ සත්කාරක රට හැටියට ක්‍රියා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතු අයිතිය ආසියානු ඔලිම්පික් කමිටුව විසින් ඉවත් කර ගනු ලැබ ඇත.

ඊට හේතුව ලෙස දැක්වෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ක්‍රීඩාවට සිදු කෙරෙන දේශපාලන මැදිහත් වීමයි.

ක්‍රීඩා ඉසව් ගණනාවකින් සමන්විත 2017 ආසියානු ඔලිම්පික් තරඟාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ හම්බන්තොට නගරයේයි.

ඒ සම්බන්ධයෙන් ආසියානු ඔලිම්පික් කමිටුව විසින් නිකුත් කරනු ලැබ ඇති නව නිවේදනයක දැක්වෙන්නේ, ‘ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ අධිකාරයට එල්ල වී ඇති ප්‍රශ්න හේතුවෙන්’ හම්බන්තොට ලද සත්කාරක වරම ඉවත් කර ගන්නා බවයි.

එහෙත් ආණ්ඩුව විසින් සිදු කරන ලද දේශපාලන බලපෑම් මොනවාද යන්න සම්බන්ධයෙන් ඉහත කී නිවේදනයේ වැඩිදුර විස්තර ඇතුළත් නොවෙයි.

ජකර්තා නගරයට

කෙසේවුවද, ඉහත කී අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් 2017 ආසියානු ඔලිම්පික් ශූරතා තරඟාවලිය ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේ සංවිධානය කිරීමට තීන්දු කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අදාළ අවසාන තීන්දුව ලබන සැප්තැම්බර් මාසයේ කැඳවන මහා මණ්ඩල රැස්වීමේ දී ගනු ලබන බවත් ආසියානු ඔලිම්පික් කමිටු නිවේදනයේ දැක්වෙයි.

කුවේටයේ බලධාරියකු වන ෂේක් අහමඩ් අල්-ෆහාඩ් අල්-සබා මෙහෙයවන ආසියානු ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාව තුළ තරඟ සූදානම අතින් ප්‍රගතියක් නොවීම සම්බන්ධයෙන් අසතුටට පත්ව ඇති බවක් වාර්තා වීමත් සමඟ හම්බන්තොටින් එම තරඟාවලිය ඉවත් කර ගනු ලබනු ඇතැයි සැක පළ වෙමිනුයි තිබුණේ.