ඉඩම් පවරාදීම 'අත්පත් කරගැනීමට වඩා දුෂ්කරයි'

Image caption "හේන් වල මුං, කව්පි, කුරක්කන්, රට කජු, ඉරිඟු, එළවලු, ආදිය වගා කරලා පවුල් නඩත්තු කලේ. මේවාට අපි බලපත්‍රත් ලබා ගෙන තිබුණා. කොටි කරදර කාලෙවත් අපේ හේන් ගොවිතැන් නැවතුනේ නෑ. නමුත් 2010 තමයි අපි පාරට වැටුණේ."

යුද සමයේ පසුගිය රජය විසින් අත්පත් කරගන්නා ලද ඉඩම් ආපසු පවරා දීම, ඉඩම් පවරා ගැනීම් තරම් කඩිනමින් සිදු කිරීම දුෂ්කර බව ආණ්ඩුව පවසයි.

ඉඩම් අමාත්‍ය එම්කේඒඩීඑස් ගුණවර්ධන ඒ බව කියා සිටියේ, ආරුගම්බේ සංචාරක නිකේතනය ආසන්නයේ පානම ගම්වැසියන්ගේ ඉඩම් පවරාදීම දිගින් දිගටම පමාවන බවට ප්‍රදේශවාසීන් කරන චෝදනාව පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.

"අපිට මේ පවරා ගන්නවා වගේ ඉක්මනට ආපහු ලබාදීමේ අමාරුවක් තියෙනවා. ඒ අමාරුව මොකුත් නෙවෙයි, ඒවායේ නැවත මායිම් ඇතිකරන්නට ඕනේ; අවශ්‍ය ලියකියවිලි සකස් කරන්නට ඕනේ," ඇමතිවරයා පැවසීය.

'නායකයන්ගේ සහෝදරවරු'

අදාළ නිල කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව හැකි ඉක්මනින් එම ඉඩම් මුල් පදින්චිකරුවන්ට් ලබාදීම ආණ්ඩුවේ අපේක්ෂාව බව ඉඩම් අමාත්‍ය එම්කේඒඩීඑස් ගුණවර්ධන අවධාරණය කළේය.

Image caption "නාවික හමුදාවේ නමින් මේ වෙන වෙන හෝටල් අරව මේවා හරිගස්සන්නට පසුගිය රජයේ නායකයෝ, නායකයන්ගේ සහෝදරවරු ඒ වගේ දේවල් කරලා තියෙනවා"

පානම ගම්වැසියන්ගෙන් අත්පත් කරගත් ඉඩම්වල නාවික හමුදාව විසින් දැනටමත් විවිධ ගොඩනැගිලි ඉදි කොට තිබෙන බවද ප්‍රදේශවාසීහු පවසති.

"නාවික හමුදාවේ නමින් මේ වෙන වෙන හෝටල් අරව මේවා හරිගස්සන්නට පසුගිය රජයේ නායකයෝ, නායකයන්ගේ සහෝදරවරු ඒ වගේ දේවල් කරලා තියෙනවා," බවයි ඒ පිළිබඳව විමසූ විට අමාත්‍යවරයා කියා සිටියේ.

"අපි ඒවා නිරවුල් කරලා ජනතාවට බෙදල දෙනවා."

දේශපාලන බලධාරීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් වසර පහකට ආසන්න කාලයක් ඉඩම්වලින් පලවා හැරුණු ප්‍රදේශවාසීන්ට වන්දි ලබා දෙන්නේ දැයි විමසූ විට අමාත්‍යවරයා කියා සිටියේ, එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් එය සලකා බැලීමට ආණ්ඩුව සූදානම් බවයි.

ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීම සම්බන්ධ නව රජයේ වැඩපිළිවෙලේ කොටසක් අවශයෙන් යාපනයේ ඉඩම් අක්කර 1000 ක් දැනටමත් මුල් අයිතිකරුවන්ට යළි පවරා දී තිබෙන බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර