ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ළමා සහ ස්ත්‍රී දූෂකයන්ට එරෙහිව මරණ දඬුවම?

වර්තමානයේ ඉහළ යමින් තිබෙන අපරාධ රැල්ල මැඩපැවැත්වීම පිණිස මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන මෙන් කෙරෙන ජනතා ඉල්ලීම පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇතැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ දූෂණය කොට මරා දැමුණු විද්‍යා යෝගේෂ්වරන් පාසල් ශිෂ්‍යාව සිහි කරමින් ළමා අපයෝජනවලට එරෙහිව කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවති ඉටි පහන් දැල්වීමේ විරෝධතාවකට සහභාගී වෙමින්.

‘අපේ රටේ ජනතාව විශාල ඉල්ලීමක් කරනවා මරණ දණ්ඩනය නැවත ක්‍රියාත්මක කරන්න කියලා. මොකද මේ අපරාධ රැල්ල, මරණ දණ්ඩනය නියම කිරීම තුළින් අඩු කර ගන්න පුළුවන් කියලා අපේ රටේ ජනතාව තුළ දැන් විශ්වාසයක් ගොඩ නැගෙමින් තිබෙනවා’ අමාත්‍යවරයා සඳහන් කළේය.

දේශපාලන බල පුළුවන්කාරකම මත විධායක බලය ප්‍රයෝජනයට ගනිමින් පසු ගිය කාලයේ ප්‍රාදේශීය දේශපාලනඥයන් පවා ළමා අපචාර, ස්ත්‍රී දූෂණ සහ ඝාතන වල යෙදුණු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

'පැවති ආණ්ඩුවේ'

‘තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අපරාධය පිළිබඳ ලෝකය බලා ගෙන ඉන්නවා. දේශපාලන හයිය අරගෙන අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කරපු සාහසික, ම්ලේච්ඡ කාන්තා හිංසන ගැන ලෝකය බලාගෙන ඉන්නවා’ අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

පැවති ආණ්ඩුව ස්ත්‍රී දූෂකයන් සහ අපරාධකරුවන් ආරක්ෂා කළ බව එහිදී පැවසූ ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී රෝසි සේනානායක පාර්ලිමේන්තුව විසිර වීමට පෙර ‘නෛතික ළමා ආරක්ෂණ පනත’ ගෙන එන බව සඳහන් කළාය.

ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් පැවති සාමකාමී විරෝධතාවයට සියලු පූජක පක්ෂ, උතුරේ සහ දකුණේ දේශපාලන නියෝජිතයන් ඇතුළු සිවිල් ක්‍රියාධරයෝ රැසක් එක් වී සිටියහ.

තම ඇඟිලි සලකුණ තබා ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාරවලට එරෙහිව විරෝධය පළ කළ පිරිස සමූහ දූෂණයට ලක් කොට මරා දැමුණු විද්‍යා යෝගේෂ්වරන් පාසල් ශිෂ්‍යාව සිහි කර ඉටිපහන් දල්වා ශෝකය පළ කළහ.